ආර්ථිකය නවීකරණයෙන් පෙරට යාමට ඉදිර වසර 10 දී පුහුණු ශ්‍රමිකයින්.... අගමැති කුලියාපිටියේදි (වීඩියෝ)

අගෝ 31, 2019

    ආර්ථිකය නවීකරණය කර ඉදිරියට යෑම සඳහා පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රමිකයන් සිටින රටක් බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව අග්‍රාමාත්‍යවරයා තවදුරටත් අද (31) කුලියාපිටියේදී කියා සිටියේය. ජපානය, කොරියාව වැනි රටවල නුපුහුණු ශ්‍රමිකයන් නොමැති බවත්, පුහුණු ශ්‍රකමිකයන් නිසා එම රටවල් වේගයෙන් දියුණුවී ඉදිරියට පැමිණ ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (31) පෙරවරුවේ කුලියාපිටියේ නාරංගල්ල ප්‍රදේශයේ රුපියල් මිලියන 2500 ක් වැය ඉදිකිරීමට යෝජිත තාක්ෂාණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....
    "තාක්ෂණ ගුරුවරු වෙනුවෙන් අද කුලියාපිටියේ ආරම්භ කළ විද්‍යා පීඨය අධ්‍යාපනය නවීකරණය කිරීමත් ඒ තුලින් ආර්ථික නවීකරණයේ වැදගත් පියවරක් බව කිව යුතුයි.
    මගේ පරමාර්ථය වී තිබෙන්නේ තව අවුරුදු 10 ක් තුළ මෙරට නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍ර මිකයන් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි. කොරියාව, ජපානය වැනි රටවල නුපුහුණු ශ්‍රමිකයන් නැහැ. ඒ රටවල සියලූ ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් බව කිව යුතුයි. පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමේ තවත් පියවරක් ලෙස පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ විශාලම කාර්මික වෘත්තීය පුහුණු මධ්‍ය ස්ථානය ඔරුගොඩවත්තේ ආරම්භ කළා. ඉදිරි වසර කිහිපය තුළ මෙවැනි ආයතන ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙන බව කිව යුතුයි. අපේ අරමුණවී තිබෙන්නේ නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට වෘත්තීය පුහුණු ශ්‍රමබලකායක් ඇති කිරීමයි."

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදා විද්‍යාංශ පීඨ සංකල්පය ඇති කළ බවත් ඒ යටතේ විසිවැනි විද්‍ය පීඨය කුලියාපිටියේ අද ආරම්භ කළ බවත් එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂලයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.වත්මන් ආණ්ඩුව පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කළ බව පෙන්වාදුන් අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපනය සඳහා මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කළ කිසිදු ආණ්ඩුවක් මෙරට බිහිවී නැති බව සිහිපත් කළේය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයින් හා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් ඇතුළු දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2019 20:19

    Latest News