හින්දු පූජකවරු: අන්තවාදීන් බිහිවීම වැලැක්වීමට දරුවන්ට දහම් අධ්‍යාපනය අවශ්‍ය

අගෝ 15, 2019

    කුඩා කළ සිට දරුවන් ආගමික අධ්‍යාත්මික සංවර්ධනය සදහා යොමු කිරීමෙන් අන්තවාදී හා හිතුවක්කාර පරපුරක් බිහිවීම වලක්වා ගතහැකි හෙයින් සියලූ ආගම්වල දරු දැරියන් දහම් අධ්‍යාපනය සදහා යොමු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා හමුවු උතුරු ප්‍රදේශයේ හින්දු පූජකවරු අවධාරණය කළහ.

    අද (15) පෙරවරුවේ යාපනය ආදීනම් කෝවිලේ දී යාපනය ආදීනම්තුමා ප්‍රමුඛ හින්දු පූජක පක්ෂය හමුවූ අවස්ථාවේ දී ඔවුන් පෙන්වා දුන්නේ යුද්ධයෙන් විනාශ වූ කෝවිල් ගණනාවක් තවමත් යතා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

    ඒ කෝවිල් යලි ඉදිකිරීම් සදහා ලබන අයවැයෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.  දැනට පවතින සියලූ ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කරලීම උදෙසා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් සපයන බව මෙම සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතාවන් වෙතොත් නව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ඒ හැර කිසිඳු අවස්ථාවක බලහත්කාරයෙන් හෝ අනවශ්‍ය පරිදි හෝ අලූතින් ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීමට රජය අනුබල නොදෙන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

    විවිධ ආගම් අතර වර්තමානයේ තැන තැන ඇති වී ඇති දුරාවබෝධයන් දුරුකරලීම ආගමික සභාවට පවරන බව පැවසූ වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට ආගමික සිද්ධස්ථාන සංරක්ෂ්ණ පිළිබඳ නියාමනයන් සකස් කිරීමේ වගකීම ආගමික සභාවට නිල වශයෙන් ලබාදෙන බවද අවධාරනය කළේය. ශ්‍රී ලංකාවේ ඇති ඊෂ්වරන් කෝවිල් හතර සදහා විශේෂත්වයක් ලබාදීමට ද මත්තල ගුවන් තොටුපල හරහා කතරගම දේවාලය වෙත එන ඉන්දීය හා මැලේසියානු හින්දු ආගමික සංචාරකයන් වැඩිකර ගැනීමට ද පියවර ගන්නා බව අග්‍රමාත්‍යවරයා මේ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 15:43

    Latest News