මම රට හදන්න ආපු අගමැති: ඒ ගමනට අප සමග එක්වන... අගමැති කුලියාපිටියේදී

අගෝ 31, 2019

    සුදු ජාතිකයින්ගේ පාලනය සමයේ සිට පොල් ආර්ථිකය පදනම් කරගත් කුරුණෑගල දිස්ත්‍රික්කය නවීකරණය කිරීම තම අරමුණවී තිබූ බව අග්‍රමාත්‍යක රනිල් වික්‍රමසිංහ මහතා අද (31) කුලියාපිටියේදී පැවසීය. එම නවීකරණය ඉදිරි කාලය තුළ ඇති කරන බවත් ඔහු කියා සිටියේය. බෝක්කු ඉදි නොකරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බව පැවසූ වික්‍රමසිංහ මහතා තමා බලයට පැමිණියේ බෝක්කු හැදීමට නොව රට හැදීමට බව අවධාරණය කළේය.

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (31) කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම හා තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමෙන් අනතුරුව කුලියාපිටිය, නගර සභා රථ ගාලේ පැවැති ජනහමුවට එක්වෙමිනි.

    අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) කුලියාපිටිය, නාරංගල්ල තාක්ෂණවේදී අධ්‍යාපන විද්‍යායතන පීඨයට මුල්ගල තැබීම, වයඹ විශ්ව විද්‍යලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ගොඩනැගිලි කිහිපයක් සඳහා මුල්ගල තැබීම, බෝවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තැබීම සහ ඉලූක්හේන බෙරිවැව මාර්ගය විවෘත කිරීම, කුලියාපිටිය නගරයේ උමං මාර්ග පද්ධතිය විවෘත කිරීම, කුලියාපිටිය නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම, පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි.

    කුලියාපිටිය නගර සභා රථ ගාලේදී පැවැති ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    2015 ජනවාරි මාසයේ දී මා අග්‍රමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කය නවීකරණය කිරීමට තීරණය කළා. සුදු ජාතිකයින්ගේ පාලන සමයේ සිට මේ දිස්ත්‍රික්කයේ පැවැතුණේ පොල් වගාව පදනම් කර ගත් ආර්ථිකයක් බව කිව යුතුයි. කිසිදු දියුණුවක් ඇති වුණේ නැහැ. 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ගම්පහ දිස්ත්‍රික්කය අප නවීකරණය කළා. එහි වෙළෙඳ කලාප ඉදි කළා. අලූත් නගර ඇති කළා. කර්මාන්ත ශාලා ආරම්භ කළා. මේ වන විට කොළඹට වඩා ඉදිරියෙන් ගම්පහ තිබෙන බව කිව යුතුයි. එවැනි දියුණුවක් මේ ප්‍රදේශවල ද ඇති කිරීම අපේ අරමුණයි.

    කුරුණෑගල දියුණු කරන්න නම් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකළ යුතු බව අප තීරණය කළා. ඒ අනුව එහි වැඩකටයුතු මේ වනවිට සාර්ථකව සිදු වෙමින් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය නිසා මේ ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම තුන් හතර ගුණයකින් වැඩි වෙනවා. කුරුණෑගල දියුණුව සඳහා තවත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අද ඇතැම් පාර්ශ්ව කියනවා මම බෝක්කු හදන්නේ නැහැ කියා. ඔව් මම බෝක්කු හදන්නේ නැහැ. මම බලයට එන්නේ රට හදන්න. මේ රට මම හදනවා. ඒ ශක්තිය මට තිබෙනවා. රට හදන ගමනට අප සමග එක්වන ලෙස සියලූ ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

    මෙම ජනහමුව අමතා එක්සත් ජාතික පක්ෂ්යේ මහා ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ රට හමුවේ ඇති අභියෝග ජයගත හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි. 2015 බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අභියෝග ගණනාවක් මධ්‍යයේ රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන ආ බවත් අධ්‍යපනය හා සෞඛ්‍යණ ක්ෂේත්‍රය සඳහා මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කළ ආණ්ඩුවක් ඉතිහාසයේ බලයට පත්ව නැති බවත් කාරියවසම් මහතා පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජයගත හැකි අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන බවයි.

    මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යරන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශෝක් අබේසිංහ, විජේපාල හෙට්ටිආරච්චි, සන්දිත් සමරසිංහ, තුෂාර ඉඳුනිල්, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

    Latest News