පා.ම. විමල්ට අයථා වත්කම් නඩුවේ සාක්කි නොලැබීමක්

අගෝ 28, 2019

    ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව රුපියල් මිලියන 75 කට ආසන්න අයථා වත්කම් නඩුව ඔක්තෝබර් 02 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුණ.

    නඩුවේ සාක්ෂි ලෙස නම් කර තිබෙන ලේඛන උත්පාදන කළ පරිගණක පද්ධති සහ ඒ සම්බන්ධ ලේඛණ පරික්ෂා කිරීමට අවස්ථාවක් ලැබී නොමැති බව විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

    සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පමණක් පරික්ෂා කිරීම සඳහා අවසර ලබා දිය හැකි බවත් ඊට සම්බන්ධ ලේඛන පරික්ෂා කිරීමට ලබාදිය නොහැකි බවත් අල්ලස් කොමිසමේ නීතිඥවරු අධිකරණයට දැනුම් දිනී.

    සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන සහ පරිගණක පද්ධතිය තුළ අන්තර්ගත දත්ත අතර යම් වෙනසක් තිබේ නම් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස විනිසුරුවරයා විත්ති නීතිඥවරුන්ට දන්වා සිටියේය. එම කරුණු සලකා බලා අධිකරණය සුදුසු නියෝගයක් කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන හැත්තෑ පහකට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News