පා.ම. විමල්ගේ මුල්‍ය අවභාවිතා නඩුවට නොපැමිණි FCID යට නොතිසි

සැප් 30, 2019

    විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකුව සිටියදි ඥාතීන්ට, පාක්ෂිකයන්ට හා හිතවතුන්ට, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථා වියදමින් මෝටර් රථ කුලියට ගෙන ඉන්ධන හා රියදුරන් යොදවා රජයට රු මිලියන 41ක් පාඩු සිදු කිරීමේ නඩුවට අධිකරණයේ පෙනී නොසිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නොතිසි නිකුත් කිරිමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    පෙත්සම කැදවන අවස්ථාවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයේ පෙනී නොසිටීයේය. එ අනුව ඉදිරි නඩු දිනය වන 2020 ජනවාරි මස 27 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිසියට මහේස්ත්‍රාත් වරයා නොතිසි නිකුත් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු ඉංජිනේරු සේවා නිවාස හා ඉදිකිරීම් ඇමති විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස අද අධිකරණයේ පෙනී සිටියේය.

    සැකකරුවෙක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදි යන අයට අද දින සිට ඉදිරි නඩු දිනය තෙක් විදේශ ගත වීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා ඒ සදහා අවසර ලබා දුන්නේය.

    රජයට රු මිලියන 41ක් පාඩු සිදු කිරීමේ චෝදනාව යටතේ පා.ම. විමල් වීරවංශ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදිට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

     

    Latest News