ගෝඨාභයගේ ප්‍රකාශය පොරොන්දුවක් පමණයි... කාර්දිනල් හිමි

අගෝ 28, 2019

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පිහිටුවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය, පොරොන්දු පමණක් බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කරති. 

    බලයක් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙන පොරොන්දුවලට වඩා බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ වැදගත් බව උන්වහන්සේ පැවසුහ.

    මෙරටට පැමිණි ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති Gualtiero Bassetti හිමිපාණෝ සමඟ ඊයේ (27) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ අගරදගුරු කාදිනල් හිමිපාණෝ මේ බව කියා සිටියහ.

    කිසිදු දේශපාලන පක්ෂයට පක්ෂව කතා කරන්න සූදානම් නොමැති බවත් ඒ සම්බන්ධව විනිශ්චය ජනතාව ගනු ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    පාස්කු ඉරුදින ඇති වූ සිද්ධියෙන් පීඩාවට පත් වූ ජනතාවගේ හදවත් යම් ප්‍රමාණයකට හෝ සැනසීමට නම් මේ සිදුවීමේ සත්‍ය රටට හෙළිදරව් විය යුතු බවත් එය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම බවත් කාදිනල් හිමියක් කියා සිටියහ.

    ඡන්ද පැවැත්වීමට පෙර මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පිහිටුවීම වැදගත් බවත්, දැන් හැමෝගෙම අවධානය දේශපාලන බලය ලබා ගැනීමට යොමුව ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

    විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දුවලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බවත් කාදිනල්තුමන් කීහ.

    Latest News