සෑම ඡන්ද කොට්ඨාසයක් සංවර්ධනයට රුපියල් ලක්ෂ 5,000 ක්

අගෝ 27, 2019

    ඉතිහාසයේ කිසිදු රජයක් නොකළ අයුරින් වත්මන් රජය සෑම ඡන්ද කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 5,000 ක් බැගින් වෙන්කර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහත පවසයි.

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු විෂය භාරව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුමක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ඔහු කියා සිටියේය.

    "සංවර්ධන කටයුතු සඳහා සෑම ඡන්ද කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 5,000 බැගින් වෙන් කොට තිබෙනවා. එයින් ලක්ෂ 3000 ක කොටස් පළමු පියවර ලෙස නිදහස් කරල තිබෙනවා. ඉදිරියේදී තවත් ලක්ෂ 2000ක් නිදහස් කිරීමට නියමිතය. ලංකා ඉතිහාසයේ මෙවැනි යුගයක් තිබී නැත. මේ රජයට එසේ කරන්න පුළුවන්කම ලැබී ඇත්තේ ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති කෙනෙකු වන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඇමති ධුරය දරන බැවිනි." අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    'ගම්පෙරළිය' කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික ස්ථාන සඳහා චෙක්පත් ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසිය. ආගමික ස්ථාන 86ක සංවර්ධනයට රුපියල් මිලියන 62ක මුදලක්ද, ආගමික ස්ථාන 18ක සූර්ය බලශක්ති ස්ථාපනය සඳහා ආධාර ලෙස රුපියල් මිලියන 9ක මුදලක්ද පිරිනැමුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    දකුණේ අගනුවර ගාල්ල. දකුණු පළාතේ වැඩිම ජනගහනය ගාල්ලේ. ලෝකයේ පොත්පත්වල සිලෝන් ගෝල් ගැන ලියවෙනවා. සිලෝන් ගෝල්වලින් තමයි තේ පටවන්නේ. සිලෝන් ගෝල්වලින් තමයි රබර් පටවන්නේ. දැන් සිලෝන් ගෝල් අනාථයි. මගේ යුතුකම මම ඉෂ්ට කරනවා. සම්මන්ත්‍රණ ශාලාවට රුපියල් කෝටි 500ක් වියදම් කරනවා. තව විශාල වැඩ කොටසක් කර ගෙන යනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සඳහාම නව ගොඩනැගිලි ඉදි කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඉතිහසයේ කිසිදු රජයක් සිදු නොකළ සංවර්ධනයක් අපි සිදු කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය සදහටම ජලයෙන් යට නොවන දිස්ත්‍රික්කයක් බවට 2020 වන විට පත් කරනවා.” ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News