ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට රජය සූදානම් - ඇමති වජිර

අගෝ 14, 2019

    ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් විපතට පත්වන පුද්ගලයන් මුදවාගැනීමට හා ඔවුන්ට සහන සේවා සැපයීම සඳහාත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කර ඇති බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍ය වජිර‌ අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ දැනට අධික වැසි පවතින දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන් මගින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බවයි.

    අමාත්‍යවරයා දැක්වූ අදහස්....

    '' අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක හදිසි ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඇතැම් ස්ථානයන්හි පවුල් රැසක් අවතැන් වී තිබෙනවා. ඒ වගේම තවදුරටත් වර්ෂාව ඇතිවුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා මෙය වර්ධනය විය හැකියි. දැඩි වර්ෂාපතනය අඟහරුවාදා දිනය මුළුල්ලේම පැවැති නිසා නාය යාමේ අවදානම් සහිත ස්ථානවල පදිංචිකරුවන් ද ඉවත් කිරීමට සිදුවුණා. මෙවැනි හදිසි අවස්ථාවක දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපට මූළික සූදානමක් තිබෙනවා. දැනටමත් දිසාපතිවරුන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධ උපදෙස් ලබා දී තිබෙනවා. ඇතිවන ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට රජය සූදානමින් සිටිනවා. එමෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැඩි වර්ෂාව පවතිනානම් තමන් පදිංචි ස්ථානවල නායයාමේ අවදානමක් හෝ එවැනි ලක්ෂණ පෙන්වනවානම් සහ ගංවතුරින් යට වීමට ඉඩ ඇත්නම් හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන්න කියා. තමන්ට යම් විපතක් සිදුව ඇත්නම් ග්‍රාම නිලධාරීවරයා හෝ ක්ෂේත්‍ර නිලධාරීවරයකු මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම්වත් කරන්න කියා අප ඉල්ලා සිටිනවා."

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හදිසි ගංවතුර තත්ත්වයක දී ක්‍රියාත්මක වීම සඳහා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහය ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා ලබාගැනීමට කටයුතු කර ඇති බවයි. එමෙන් ම අවතැන්ව සිටින පුද්ගලයන් සඳහා පිසූ ආහාර සහ වියළි ආහාර ලබාදීමේ කටයුතු ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරන බව ද අමාත්‍යවරයා පවසා සිටියේය.

    Latest News