සාකච්ජා අවසන්යේ ‘ගෝඨා‘ අපේක්ෂකයා නොවෙන්නත් පුළුවන්

අගෝ 15, 2019

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කිරීම එම පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින සාකච්ජා සඳහා කිසිදු බාධාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    පක්‍ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ජා අවසානයේ ඇතැම් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියපු මෛත්‍රී මහත්තයාත් නොවන, පොහොට්ටුවෙන් කිව්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් නොවන අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව ද ඔහු කියා සිටියේය.

    ජනාධිපතිවරණය ජයග්‍රහණ කරන වැඩසටහනේ සියලු පාර්ශවකාරයින් ගන්න අවසාන තීන්දුව තමයි, අවසාන අපේක්ෂකයා තෝරන තීන්දුව බවට පත් වෙන්නේ යැයි ද දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ තඹුත්තේගම සෝලම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

    dumindadissanayake1 px 900

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.......

    “ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයා කවුද කියන එක තෝරන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැසිරීමත් එක්ක. එහෙම නම් අද අපි ගමේ සුළු පිරිස වුණත් මේ පිරිසේ ඡන්ද ටික නැතිව මේ රටේ තනි පක්ෂයකට ජනාධිපතිවරයෙක් හදා ගන්න පුළුවන්කමක් නෑ. මේ තියෙන වකවාණුව තුළ අපි සුළු කණ්ඩායමක් වුණත්, අපි එකට හිටියම, අපි ශක්තිමත්ව හිටියම, අපිට නේද වැඩිම වටිනාකමක් තියෙන්නේ, බහුතරය තිබ්බත් වැඩක් තියෙනවාද අවශ්‍යය පිරිස ගලප්පා ගන්න ඕන චූටි කොටස හරි නැත්නම්, බහුතරයෙන් වටිනාකමක් නෑ. බහුතරය කොච්චර තිබුණත් තීරණාත්මක බලවේගයට තමයි මෙවර වැඩිම බලයක් තියෙන්නේ, ඒ සියලු දෙනා හැසිරවීමේ, පාලනය කිරීමේ හා තීන්දු තීරණ ගැනීමේදී.

    ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මොනම අවස්ථාවකවත් වැටෙන්න, බෙදෙන්න, කළකිරෙන්න අවශ්‍යතාවක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේම ඉතිහාසයේත් වුණා.බණ්ඩාරනායක මහත්තයා මේ පක්ෂය හදලා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ පක්ෂය පෝෂණය කරලා, එතුමියගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පක්ෂයත් එක්ක තරහා වෙලා ගිහින් වෙනම පක්ෂයක් හදනවා. අනුර බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයට යනවා. පක්ෂයෙ නිර්මාතෘගේ ළමයි දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතෑරලා යනවා. ඒ කාලවල් වල අපිට අමාරුකම් තිබුණා, අපි මන්ත්‍රීවරු හතට-අටට බැස්සා. අපේ පක්ෂ මූලස්ථානය අල්ලා ගත්තා වෙන කට්ටිය,අපිට පක්ෂ මූලස්ථානය නැතිව ටකරන් සම්මේලනය තියලා තමයි පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කලේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ කියන අමාරු කාළවල් අපට මහා ලොකු දේවල් නෙමෙයි. ඉතිහාසයේ අපි මේවා විඳලා තියෙනවා, ඉතිහාසයේ අපි මේවා වින්ඳා කියලා අපි වැටිලා නෑ, නැවත වතාවක් අපි නැගිටලා තියෙනවා.

    බණ්ඩාරනායක මහත්මයාගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂය කඩාගෙන ගිහින් වෙනත් පක්ෂයක් හදනවා. හැබැයි අවසානයේ ඒ කණ්ඩායම කොහෙද නවතින්නේ. අද ඒ හදා ගත්ත පක්ෂ නෑ. එදා විජය නැති වුණාට පස්සේ ඒ පක්ෂත් නෑ, මෙලෝ දෙයක් නෑ අවසානයේ අපේ මහ ගෙදරට එනවා. ඒ නිසා තමයි මම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කාළයේ කිව්වේ අපේ පක්ෂයෙන්, ඈත් වෙලා - තරහා වෙලා ගියපු කට්ටිය මහ ගෙදරට එන්න වැඩි කාළයක් යන්නෙ නෑ, අපි හැමෝටම අවසානයේ ඉතිරි වෙන්නේ මහ ගෙදර මිසක්, වෙනත් තැනක් නෙමෙයි.“

     

     

     

     

    Latest News