වැසි ජලය ඉලක්ක වු විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ජනපති අරඹයි

අගෝ 30, 2019

    ශ්‍රී ලංකාව තුළ සැලසුම් කරන ලද, වැසි ජලය යොදා ගැනීමෙන් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ වඩමාරචිචි ප්‍රදේශයේ දී සිදු විය.

    යාපනය ජනතාව දීර්ඝකාලීනව මුහුණ දී සිටින පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදෙමින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් බිලියන 02කි.

    යාපනය දිස්ත්‍රික්කය දැඩි ජල හිඟයකින් පීඩා විඳින භුමි භාගයකි. මෙම ප්‍රදේශයේ එකදු ගංගාවක් හෝ නොමැති අතර කිසිදු මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ ජලාශයක් ද පිහිටා නොමැත. ඒ අනුව වර්ග කිලෝමීටර් 1012ක් විශාල මෙම ප්‍රදේශයට වාර්ෂිකව ලැබෙන මිලිමීටර් 1250කට අධික වර්ෂා ජලය ගබඩා කිරීමට හැකියාවක් නොමැති අතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භූගත ජලය මත රඳා පැවතීමට සිදුව තිබේ.

    වාර්ෂික වර්ෂාපතනයෙන් ලැබෙන වැසි ජලයෙන් කොටසක් පමණක් අර්ධද්වීපය තුළ පිහිටා ඇති වඩමාරච්චි, උප්පාරු සහ අලිමන්කඩ කළපු තුන තුළ රැදෙන අතර කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මහ මුහුදට ගලායන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 39කි. යාපනය අර්ධද්වීපයේ වාර්ෂික පානීය ජල අවශ්‍යතාවය ඝන මීටර් මිලියන 18.28ක් වන අතර එම ප්‍රමාණය ඉතා පහසුවෙන් ඉහත කී ජල ප්‍රමාණයෙන් සපුරා ගැනීමට හැකියාව තිබෙන අතර, එම මූලික සංකල්පය මත පදනම්ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතිය වසර දෙකකින් අවසන් කිරීමට නියමිතය.

    jaffnawater1 px 900 19 08 3

    මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය පී. හැරිසන්, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් යන මහත්වරුන් සහ පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ.

    මේ අතර යාපනය චුන්නාකම් ප්‍රදේශයේ අද ආරම්භ කෙරුණු “ජාත්‍යන්තර උතුරු දියවර සම්මන්ත්‍රණයේ” සමාරම්භක අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.

    උතුරු පළාතේ තිරසර ජල කළමනාකරණය පිළිබඳ මෙම සම්මන්ත්‍රණය අද සහ හෙට පැවැත්වෙන අතර උතුරු ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන ජල ගැටලු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීම හා ඒ සඳහා ලබාදිය හැකි කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන විසඳුම් හඳුනා ගැනීමත්, යෝජිත ජල ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය ලබාගැනීමත් මෙම සම්මන්ත්‍රණයේ දී සිදු කෙරේ.

    jaffnawater2 px 900 19 08 3

    සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් චාරිත්‍රානුකූලව පිළිගනු ලැබීය. පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 17:15

    Latest News