හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතුයි..

අගෝ 15, 2019

    රටේ පවතින නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන අතරම රටේ ගැටලූ සහ ප‍්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (15) පෙරවරුවේ මහනුවර දිස්ති‍්‍රක්, ස්මාර්ට් ශ‍්‍රී ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව කටුගස්තොට රාහුල විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති, ස්මාර්ට් ශ‍්‍රී ලංකා, තරුණ ජන හමුව අමතමිනි.

    නිපුණතා පිරි තාරුණ්‍යය සවිබල ගන්වමින් ස්ථාපිත කෙරුණු මහනුවර දිස්ති‍්‍රක්, ස්මාර්ට් ශ‍්‍රී ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය අද පෙරවරුවේ පළමුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. කටුගස්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු ගොඩනැගිල්ලක සියලූ පහසුකම් සහිතව මෙම නව මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

    සමරු ඵලකය නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් තරුණ තරුණියන් සමඟ සුහද කථා බහක නිරත විය. දිස්ති‍්‍රක්කයේ තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අනතුරුව තරුණ ජන හමුව පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ දැයේ සියලූ දරුවන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් සාධාරණ සමාජයක් ගොඩනගාදීමට ඉකුත් සිව් වසර තුළ වගකීම් රැසක් ඉටු කළ බවයි. කුමන ආගමකට සහ කුමන ජාතියකට අයත් වුව ද දැයේ සියලූ දරුවන් තමන්ට තම දරුවන් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඔවුන් සියලූදෙනා වෙනුවෙන් වගකීම් ඉටුකරන බව ද කියා සිටියේය. මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබෙන අමානුෂික නවක වදය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙසේ පීඩනයට ලක්වන්නේ තම සහෝදර සහෝදරියන් බව ඔවුන් අමතක නොකළ යුතු බවයි.

    දේශපාලන වැඩපිළිවෙළක් නොවු හුදෙක් තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ස්මාර්ට් ශ‍්‍රී ලංකා වැඩසටහන හරහා මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පුළුල් වැඩකොටසක් ඉටු වෙමින් පවතින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. මහනුවර දිස්ති‍්‍රක් ස්මාර්ට් ශ‍්‍රී ලංකා ව්‍යාපෘතියට අදාළ වගකීම් පැවරීමේ ලිපි ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, රජිත කීර්ති තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, මහනුවර දිස්ති‍්‍රක් ලේකම් ඞී.එම්.එන්.ජී. කරුණාරත්න, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ස්මාර්ට් ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ ජනරාල් එරික් ප‍්‍රසන්න වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පල්ලේකැලේ පළාත් ආයුර්වේද රෝහලේ ඇදන් 100කින් යුත් නව වාට්ටු සංකීර්ණය අද ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. රෝහලට දීර්ඝ කාලයක් පුරා පැවති අඩුපාඩුවක් සපුරාලමින් සහ සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුකම් පුළුල් කරමින් මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම නව වාට්ටු සංකීර්ණය ඉදිකර තිබේ.

    වාට්ටු සංකිර්ණ විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත විය. නව වාට්ටු සංකීර්ණය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ප‍්‍රජා සත්කාරක සේවාවන් වෙනුවෙන් රෝහල වෙත රුපියල් මිලියන 17ක වටිනාකමකින් යුත් ලොරි රථ දෙකක් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ පළාත් ආයුරේවේද රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුනේත‍්‍රා ඩයස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 16:05

    Latest News