ලබන වසර අය වැයක් වෙනුවට අතුරු සම්මත ගිණුමක්

අගෝ 15, 2019

    ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් නොකිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ගෙනආ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනූව, ලබන වසරේ මුල් මාස හතරේ රජයේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළ යෝජනාවට ද අනුමැතිය හිමිවිය. මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී 2020 වසර සඳහා විසර්ජන කෙටුම්පතක් ද , නොවැම්බර් මාසයේ දී ජාතික අයවැය ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. මුදල් අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය වෙත කළ යෝජනා සම්මතවීමත් සමඟ එය තවදුරටත් සිදු නොවන බවයි, අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනූව, 2020 අයවැය ලේඛනය මාස 4කට කල් දැමීම සිදුවෙයි.

    මෙම වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින්, ජාතික අයවැයක් ඉදිරිපත් නොකර, ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ගෙනඒමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටි බවයි, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නා අයට ඔහුගේ අභීමතය පරිදි 2020 වසර සඳහා ජාතික අයවැයක් සම්පාදනය කිරීමට ඉඩකඩ ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පවසයි. ජනාධිපතිවරණය ජය ගන්නා අයට නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව හා රජයේ නව ප්‍රතිපත්ති මුල්කර ගනිමින් 2020 සඳහා අයවැයක් සකස් කිරීමට මෙයින් ඉඩ ප්‍රස්ථාව සළසා දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 09:35

    Latest News