ප්‍රධාන ධාන්‍ය වර්ග ආනයනය නැවැත්විය යුතුයි - ඇමති හැරිසන්

අගෝ 14, 2019

    ප්‍රධාන ධාන්‍ය වර්ග ආනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කරන බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියා මාර්ග ගත යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යය පී. හැරිසන් මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ හුරුළුවැව ප්‍රදේශයේ සෝයා බෝංචි ගොවීන් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව, සෝයා බෝංචි වගාවන් නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,


    ගොවීන් අපෙන් ඉල්ලුවේ සෝයා බෝංචි සඳහා හරි මිලක් දෙන්න කියලා. එතකොට ඒ අයට විශ්වාසයක් තියෙනවා මිලක් සහ ගන්න ස්ථානයක්. අපි පැලැන්ටි ෆූඩ් ආයතනයට ස්තූති කරන්න ඕන දැනට සෝයා බෝංචි කිලෝවකට 85 ක අවම මිලක් ලබා දීලා තියෙනවා. ගොවීන් කියන්නේ ඊට වඩා මිලක් ලැබෙනවා නම් ගොවීන්ට භය නැතිව ස්ථිරවම තම වගාව කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ ගැනත් අපි හිතන්න වෙනවා. එහෙම වුණොත් ඒ අයට විශ්වාසයක් ගොඩ නැගුණොත් ආනයනය කරන්නේ නැතිව මෙරටදීම සෝයා බෝංචි වගා කරන්න පුළුවන්. අපි ළූණූවලට රුපියල් 80 ක සහතික මිලක් දීලා තියෙනවා. මුං ඇටවලට පාලන මිල දාලා තියෙනවා දැන් රුපියල් 200 ක බද්ධක් සමඟ, ඒ වගේම උඳු ගොවියන්ට පුළුවන් රුපියල් 200 ක අවම මිලක් යටතේ තමන්ගේ වගාව කර ගෙන යන්න. ඒ නිසා සොයා බෝංචි ගොවීනුත් මෙම ඉල්ලීම කරනවා. ඒ නිසා මේ පිළිබඳවත් සාකච්ජා කරලා අවශ්‍යතාව කොපමණද කියලා බලලා ත්‍රිපෝෂ සමාඟමත් සමඟත් සාකච්ජා කරලා, ජීවන වියදම් කමිටුවත් සමඟ සාකච්ජා කරලා අපි තීන්දුවක් ගත්තොත් මේ ගොවි මහත්වරුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
    හරියටම කියන්න බෑ, ලබා දෙන පාලන මිල, අපි බලන්න ඕන ගොවීන්ට යන වියදමත් එක්ක බලලා අපි ගණන් හදන්න ඕන. අපිට හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයට හා කාෆ්ට් ආයතනයට මේ ගැන පරීක්ෂණයක් කරලා ගොවිමහත්වරුන් එක්කත් සාකච්ජා කරලා නිළධාරීන් එක්කත් සාකච්ජා කරලයි තීන්දුවක් ගන්න ඕන. අනිවාර්යෙන්ම ප්‍රධාන ධාන්‍ය වර්ගවල ආනයනය සම්පූර්ණයෙන්ම නවත්වා ගන්න ඕන. හැබැයි ආනයනය නවත්වනවා කියලා රටේ හිඟයක් ඇති වෙන්න බෑ, ඒ නිසා නිසි වැඩ පිළිවෙලක් හදලා ක්‍රියා මාර්ගය ගත යුතුයි යැයි පැවසීය.

    Latest News