නිවාඩු දින උපකාරක පන්ති පෙත්සම් විභාගය අවසන්: තීන්දුව කාථානායක වෙතට

අගෝ 01, 2019

    ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් දෙකක විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගය පැවැත්වුණා.

    සමස්ථ ලංකා වෘත්තිය දේශකයින්ගේ සංගමයේ හිටපු සභාපති සහ උපකාරක පන්ති ගුරුවරයකු ආචාර්ය. සුදත් දියගුආරච්චි සහ පියෙකු වන රුචිර මිරියගොල්ල යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා කියා සිටියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නිවාඩු සංශෝධන පනත් කෙටුම්පත තුළින් ඉරුදින සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට තීරණය කර තිබෙන බවයි.

    මේ තුළින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට තිබෙන මූලික අයිතිය කප්පාදු වෙන බව ඔහු පෙන්වා දුනී. ඊට අමතරව උපකාරක පන්ති ගුරුවරුන්ට ඔවුන්ගේ රැකියාව නිදහසේ කිරීමට තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ඔහු ප්‍රකාශ කළේය. මෙම පෙත්සමට සහාය පළ කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ද මැදිහත් පෙත්සමක් ඉදිරිපත් කළ අතර උන්වහන්සේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටියා.

    ඊට අමතරව මෙම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාද පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ.

    අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දු කරන ලෙසත් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මෙම නඩු විභාගය පැවති අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රයේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට බලපෑමක් කළේ යැයි කියන පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන ලෙස අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබිය. ඉන් පසුව එම පුද්ගලයා රුපියල් ලක්ෂ පහක බැඳුම්කරයක් හා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය බැඳුම්කරය තැන්පත් කරනතුරු වගඋත්තරකරු පොලිසිය භාරයේ රඳවා ගන්නා ලෙසද නියම කළේය.

     

    Latest News