ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කෙරේ

ජූලි 18, 2019

    නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.

    අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

    හදිසි කාලගුණික වෙනස්වීම්වලට මුහුණ දී සිටින කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ වාරි කර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති, කාලගුණික ප්‍රත්‍යස්ථිත මෙහෙයුම් හා ග්‍රාමීය ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය සඳහා සහය වීම මෙම නව මෙහෙයුම් ත්‍රිත්වයට ඇතුළත්ය.

    පාස්කු ඉරිදා ප්‍රහාරය හා ආර්ථිකය කෙරෙහි එහි බලපෑම පිළිබඳව අදහස් දක්වමින් හාර්ට්විග් ශේෆර් මහතා කියා සිටියේ සවිමත් ආර්ථික පදනමක් මත පිහිටා ශ්‍රී ලංකාවට අඛණ්ඩවම ගෝලීය ණය ආධාර ලබා ගැනීමට හැකිවන පරිදි අයවැය පරතරය අවම කර ගැනීම සඳහා ලෝක බැංකුවේ මුල්‍යමය සහය ලබා දෙන බවයි.

    දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් මෙහි දී ලෝක බැංකුව වෙත සිය කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුහුණු දීමට සිදු වූ අභියෝග ජය ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් සහාය පිළිබඳව ද ස්තුතිපූර්වකව සිහිපත් කළේය.

    මෙම කනගාටුදායක සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වීම පිළිබඳ සිය සතුට පළ කළ උප සභාපතිවරයා සඳහන් කළේ සියලු අසීරු අවස්ථාවන්හි ගෝලීය ප්‍රජාව ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවයි.

    ලෝක බැංකු කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුවේ ප්‍රධානත්වය දැරීමට දිවයිනට පැමිණ සිටින ශේෆර් මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ලෝක බැංකුව සිය වාර්ෂික සැසිය පැවැත්වීමට ශ්‍රී ලංකාව තෝරා ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් පසු නැගී සිටීමට ශ්‍රී ලංකාව දරන උත්සහයට සහයෝගය දැක්වීමක් ලෙස බවයි.

    ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්ව තිබීම පිළිබඳ සිය සතුට පළ කළ උප සභාපතිවරයා අභියෝග හමුවේ නොසැලී නැගී සිටීමේ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී ගුණාංගයට එය මහඟු සාක්ෂියක් බව ද කියා සිටියේය.

    ලෝක බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ Idah Z Pswarayi – Riddihough, අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාවයේ නේවාසික කළමනාකරු Amena Arif, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරි Anne- katrin Arnold, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසල වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 17:54

    Latest News