මුස්ලිම් ඇමතිවරු ඉවත්වූ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජූනි 08, 2019

    සියළු මුස්ලිම් කැබිනට්,රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත් වූ බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    මුස්ලිම් කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙක්ගේ නම් හා අමාත්‍යාංශ මීට ඇතුළත්. ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙය නිකුත් කර ඇත. ඒ අනූව, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්,කබීර් හෂීම්,රිෂාඩ් බදියුදීන් හා අබ්දුල් හලීම්ගේ නම් ද ඊට ඇතුළත් කර තිබේ. එමෙන්ම මොහොමඩ් ෆයිසාල් කාසිම්,මොහොමඩ් හාරිස්,අමීර් අලි හා අලි සබීර් මවුලානා සෙයිබ් යන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් ද එම ගැසට් නිවේදනයේ සඳහන්. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අබ්දුල්ලා මහරුෆ්ගේ නම ද මෙලෙස ඉවත් වූ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවේ ඇතුළත්. 

    මුස්ලිම් ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය ජුනි 3 වැනිදායි. මේ බව එදින පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකින් පසු අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය. 

    දැනට ක්‍රියාත්මක පරීක්‍ෂණවලට කිසිදු බාධාවක් ඇති නොවන අන්දමට සිය ධූරවලින් ඉල්ලා අස්වූ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා එහිදී කියා සිටියේය. තම කණ්ඩායම වෙත එල්ල වී ඇති චෝදනා ඕනෑම අන්දමකින් පරීක්‍ෂණ සිදු කරන ලෙස ද, ඔහු ඉල්ලා සිටියේය. සිය ධූරවලින් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් ලෙස සිටිමින් රජය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවද ඔහු පෙන්වා දුන්නේය.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 12:23

    Latest News