ජාති අනුව වෙනස් නීති බැහෑ: ළමා අයිතිය කඩන විවාහ නීති ඉවතට (වීඩියෝ)

මැයි 28, 2019

    කවර ජාතියකට, ආගමකට හෝ සංස්කෘතියකට අයත් වුවත් සියළුදෙනා රටේ පොදු නීතියට අවනත විය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

    කිසිවෙකුට ආගම හෝ ජාතියට මුවා වී නීතිය නමන්නට හෝ උල්ලංඝනය කරන්නට නොහැකි බවත් ඔහු කියා සිටි.

    අන්තවාදී උන්මත්තකයන් සුළු පිරිසක් නිසා සමස්ත මුස්ලිම් ජනතාව පිළිබඳව අයහපත් ආකල්පයක් ඇතිකර නොගත යුතු බවත් බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදයට විරුද්ධව නැගී සිටීමට සූදානම් බවත් කෙසේ වෙතත් අන්තවාදී උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන පාලනයටත්, බහුතර මුස්ලිම් ජනතාව එකහෙළා ප්‍රතික්ෂේප කරන ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කරන නීතිවිරෝධී විවාහ පිළිබඳව නීති ගෙන ඒමටත්, පාර්ලිමේන්තුව කඩිනමින් කටයුතු කරනු ඇති බව කථානායකවරයා පැවසීය. දැනටමත් ලංකාවට ආගන්තුක බුර්කාව වැනි විලාසිතා තහනම් කරන ලෙස මුස්ලිම් සමාජයෙන් නිතිපතා ඉල්ලීම් ලැබෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

    මහා භාරකාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (28) පැවති ඩී.බී ජයතිලක ගුණානුස්මරණ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් කථාකායක කරු ජයසුරිය මේ බව සඳහන් කළේය.

    “බුදුන් වහන්සේ ජාති ආගම් බේද කිසිවිට තැකුවේ නැහැ. ලෝකයේ සිටින සියළු මිනිසුන් එකම මිනිස් ජාතියකට අයත් බව උන්වහන්සේගේ ඉගැන්වීමයි. අන්තවාදීන් විසින් විකෘති කිරීමට උත්සාහ කළද ලෝකයේ සෑම ආගමකම හරය එයයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මිලේඡත්වය මෙන්ම ඉන් සති තුනකට පමණ පසුව උද්ගත වූ අහින්සක මුස්ලිම් ජනතාව ඉලක්ක කළ අන්තවාදී ප්‍රහාරයන් ද එක ලෙස පිටු දැකීමට ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන්ට හැකිවිය යුතුයි. එහිදී ප්‍රධාන වගකීම කල දුටු කළ වල ඉහ ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළ දේශපාලඥයන් භාරගත යුතුයි. මේ රට මූලධර්මවාදයකට ගෙනයාමට සිහින දකින අන්තවාදීන් දකින්නේ හුදෙක් සිහිනයක්ම පමණයි. ඉස්ලාම් මූලධර්මවාදය තුළිනුත් ලොව පුරා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ අහින්සක මුස්ලිම් ජනතාවමයි යැයි කථානායක කරු ජයසුරිය මහතා පෙන්වා දුනී.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 21:29

    Latest News