බැඳුම්කර වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට නිකුත් නොකිරිමට නීතිපතිගෙන් උපදෙස් (වීඩියෝ)

ජන 07, 2020
  • ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර ඉදිරිපත් කළ වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට නිකුත් නොකරන්නැයි නීතිපති උපදෙස් දෙයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව වෝහාරික විගණනයක් සිදු කර තිබේ.

    එම වාර්තා මෙම අවස්ථාවේදී සියලුම මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා විසින් තමා වෙත ලිඛිතව දන්වා ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (07) දැනුම් දුන්නේය.

    ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර පිළිබඳව දැනටමත් නීති කෘත්‍ය ආරම්භ කර ඇති බැවින්ද, ඉදිරියේදීත් තවදුරටත් නීති කෘත්‍යයන් ආරම්භ කිරීම සිදු විය හැකි බැවින් ද, ඉහත සඳහන් වාර්තා මෙම අවස්ථාවේදී සියලුම මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා තමා වෙත ලිඛිතව දන්වා ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

    වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලැබෙන්නට සලස්වන මෙන් පසුගිය ජනවාරි මස 03 වෙනි දින සභා ගර්භයේදී කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ මතය විමසන ලද බව කථානායකවරයා ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 20:14

    Latest News