රටේ ආරක්‍ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්: හදිසි නීතිය ගැනත් ඉඟියක් (වීඩියෝ)

මැයි 27, 2019

    ත‍්‍රස්ත අභියෝගයට එරෙහි මෙහෙයුම් වල සාර්ථකත්වය මත රටේ ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් යහපත් බවට තමාට සහතික විය හැකි බව ජනපති තානාපතිවරුන් දැනුවත් කරමින් කියා සිටි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපීය සංගමයට අයත් රටවල තානාපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.

    රටේ ආරක්ෂක තත්ත්වය යහපත්වීමට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සිදුකළ සාර්ථක මෙහෙයුම් ඊට හේතු වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා විදෙස් බුද්ධි අංශ වලින් මෙරට අරක්ෂක අංශ වෙත ලැබුණු සහය ඇගැයීමට ලක් කළේය.

    ජාතික ආරක්ෂක වැඩපිළිවෙළේ දී එම සියලූ රටවල් ලබා දෙන සහාය මෙන්ම ආර්ථික සංවර්ධනයට පිරිනමන සහාය අඛණ්ඩව අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. පාස්කු ඉරිදා සිදුවීමත් සමඟ සංචාරකයන්ට පනවා ඇති බාධක කඩිනමින් ඉවත්කර ගැනීමට සහාය වන ලෙස ද තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. රටේ වත්මන් ආරක්ෂක තත්ත්වයට අදාළ කරුණු පැහැදිලි කිරීම පිළිබදව මෙහි දී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ තානාපතිවරු, ශ‍්‍රී ලංකාවට පැමිණිමේ දී තම රටවල් සංචාරකයන්ට පනවා ඇති බාධා කඩිනමින් ඉවත්කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවට ද ප‍්‍රතිඥා දුන්හ.

    හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර ජනාධිපතිතුමා කියා සිටියේ ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම පියවර ගත් නමුත් නැවත වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි. ආරක්ෂක මෙහෙයුම් පිළිබඳව මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පුද්ගලයන්, පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ද විස්තර කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි සාහසික ප‍්‍රහාර යළි ඇති නොවන බව සහතික කිරීම සඳහා ආරක්ෂක සේවාවන්හි ප‍්‍රතිසංවිධානයක් සිදුකරමින් පවතින බවත්, නව නීති සම්පාදනය සහ නව ආයතන ව්‍යුහයක් ස්ථාපනය කිරීමට ද කටයුතු කරගෙන යන බවත් ය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    Last modified on සදුදා, 27 මැයි 2019 20:05

    Latest News