ඇමති රවී: ආගම විකුණා කන්නේ මානසික රෝගීන්

මැයි 27, 2019

    එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් යන සංකල්පයක් තුල මනුෂ්‍යභාවයක් සහිත රටක් නිර්මාණය කළ යුතුයි යැයි ඇමති රවි කරුණානායක මහතා පවසයි.

    ආගම විකුණා කටයුතු කරන මානසික රොගීන්ගෙන් මුළු ලෝකයේම ප්‍රශ්න උද්ගවන බවයි ඔහු කියා සිටින්නේ.

    රවි කරුණානායක මහතා "යම් ත්‍රස්තවාදි ක්‍රියාවලියකට යොමුවූ දෙතුන් දෙනෙක් මේ රට විනාශ කරන්න හැදුවට, අපේ අහිංසක ජනතාව සියලු දෙනා,මෙය අපේ රට, එය අපි ආරක්ෂා කළ යුතුයි කියන හැගීමෙන් අද ඒකරාශීවෙලා කටයුතු කරනවා. එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් යන සංකල්පය තුල මනුෂ්‍යභාවයක් සහිත රටක් හදන එක තමයි අද අවශ්‍ය වන්නේ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, වෙසක් උත්සවය නිමෙත්තෙන් උතුරු කොළඹ ආසනයේ පැවති ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවකට සහභාගි වෙමිනි. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය සහ මහන මැෂින් බෙදාදීම, පාසල් දරුවන් වෙනුවෙන් පොත්පත් පාසල් උපකරණ ලබාදීම, ඇස් කන්ණාඩි සහ රෝදපුටු ආදිය බෙදාදීම මෙහිදී අමාත්‍ය කරුණානායක මහතා විසින් සිදුකරන ලදී.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    පසුගිය සති කිහිපය රට ඉතාමත් භයංකාරී තත්ත්වයක් මත ගමන් කළා. ප්‍රශ්නය විසදුනාට ජනතා සිත් තුල තවමත් ආන්දෝලනයක් තියෙන්නේ, නැවතත් ඒ වගේ තත්ත්වයක් ඇතිවෙයිද කියන එකයි. මේ රටේ පාලකයෙක් හැටියට මම කියන්නේ, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය මත, ආරක්ෂාව සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයන් හැකි උපරිමයෙන් අපි මේ වනවිට අරගෙන තිබෙන්නේ. මේ අවස්ථාවේ අප කළ යුත්තේ ලාබාල දේශපාලන තීරණ ගන්න එක නෙමෙයි. අපේ ජනතාවට රට තුල බියක් සැකක් නැතිව ජීවත්වීමේ හැකියාව ඇතිකරදීමයි. වුණදේ වුණා. නමුත් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයේ ස්ථාවරයකට එන්න අපි සියළු දෙනාම එක්වී අඩිතාලමක් දැමිය යුතුයි. මේ පුංචි ලංකාවට විතරක් නෙමෙයි මේ ව්‍යසන ඇතිවෙලා තියෙන්නේ. අපට උපදෙස් දෙන ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, බ්‍රසීලය, බෙල්ජියම් වැනි මහා දැවැන්ත රටවලටත් මෙවැනි ව්‍යසන ඇති වෙලා තිබෙනවා. මේ තුළින් අපි එක් පාඩමක් ඉගෙනගත යුතුයි. ඒ තමයි අපි සෑම අවස්ථාවකම අපේ ආරක්ෂාව සලසා ගතයුතුයි. තමාගේ ආගම විකුණලා කටයුතු කරන මේ වගේ මානසික රොගීන් නිසා මුළුමහත් ලෝකයේම ප්‍රශ්න ඇති වෙනවා.

    අපේ සමහර දේශපාලඥයෝ බයයි ඉදිරියට ඇවිත් කතා කරන්න, තීන්දු තීරණ ගන්න. නමුත් අපි සියලු දෙනාම දේශපාලනය පැත්තකට දාලා, රටක් වශයෙන් ඉදිරියට ඇවිත් කටයුතු කරන්න අවශ්‍ය අවස්ථාවක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ. ජාතියක්, ආගමක්, කුලයක් වශයෙන් නොසිතා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතා කටයුතු කල යුතුයි.

    මේක සිංහල, බෞද්ධ රටක්. ඒක අපි පිළිගත යුතුයි. මේ රට තුළ අනෙකුත් සියලු ජාතීන්ට, ආගම් වලට සම තත්ත්වයත් ඇතිව ජීවත්වීමේ හැකියාව ඇති කරන්නයි අපි හදන්නේ. අපි සමගිතාවයෙන්, එකමුතු භාවයෙන් ජයග්‍රහණය කළයුතුයි. අපේ රටේ තියෙන්නේ භාෂාවන් දෙකයි. ඒ සිංහල, සහ දෙමල. සම්බන්ධීකරණ භාෂාවක් වශයෙන් අපි ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නවා. මේ හැරෙන්නට මේ රටට වෙනත් කිසිදු භාෂාවක් අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් රට වල දේවල් මේ රටට ගන්නේ නැතිව, වසර දහස් ගණනක් පැරණි අපේ සංස්කෘතිය ආරක්ෂා කල යුතුයි" යැයි පැවසිය

     

    Last modified on සදුදා, 27 මැයි 2019 18:53

    Latest News