තඹ කම්හලේ 9ගෙන් ප්‍රශ්න කිරිමට TID යට අවසර: ත්‍රස්ත වැඩ ගැන කරුණු නැහෑ (වීඩියෝ)

මැයි 27, 2019

    කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ කරුට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ ඇප මත මුදාහැර සිටින සැකකාර සේවකයින් නවදෙනෙකුට හෙට (28) සිට ජුනි 10 වනදා තෙක් ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ ලබා දෙන්නැයි අද නිමය කෙරිණ.

    එම තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මීට පෙර අධිකරණය මඟින් නිකුත්කළ නොතීසියකට අනුව ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් 09 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    වැඩබලන පොලිස්පතිගේ නියෝග පරිදි මෙම සිද්ධිය පිළිබඳව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ත්‍රස්ත විමර්ශන කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කරුණු දැක් වීය .

    කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැති සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු ඇති බැවින් ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ ආරම්භ කරන බවත් කියා සිටියා. ඒ අනුව අදාළ සැකකරු තවදුරටත් ලබන 10 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකරුවන් නවදෙනා ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී නොමැති බැවින් ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් දැනුම් දිනී.

    ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා ඇප මත මුදාහැර සිටින සැකකරුවන් නවදෙනෙකුට හෙට දින සිට ජුනි මස 10 වනදා දක්වා ත්‍රස්ත මර්දන කොට්ඨාසය හමුවට ගොස් ප්‍රකාශ ලබා දෙන්නැයි නියම කළේය.

     

    Last modified on සදුදා, 27 මැයි 2019 20:24

    Latest News