"සේනා" මර්දනයට මහින්දගෙන් උපදෙස්

නොවැ 09, 2018

    "සේනා" දළඹුවා මර්දනය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    Fall Armyworm හෙවත් සේනා නැමැති දළඹු විශේෂය අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, ගල්ගමුව, ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මේවනවිට වාර්තා වෙමින් තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවි ජනතාව දැනුවත් කර ඇත.

    මෙම දළඹු විශේෂය වී , උක් , බඩඉරිඟු , සෝගම් ඇතුළු රනිල බෝග වර්ග සහ එළවළු ඇතුළු බෝග වර්ග 100කට පමණ බරපතල හානි කරන බවත් , සමූහයක් වශයෙන් නැතහොත් සේනාවක් වශයෙන් බෝග වර්ග කා දමා විනාශ කරන නිසා එම දළඹු විශේෂය “සේනා දළඹුවා” ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත. මෙම දළඹුවාගෙන් හටගන්නා සලබයා දිනකට කිලෝමීටර් සියයක පමණ දුරක් පියඹා යා හැකි අතර , ඔවුන් විසින් වරකට බිත්තර 1500 ක් පමණ දමනු ලබයි. නියඟ තත්ත්වයකදී දින 30ක්ද , වර්ෂා සමයේදී දින 60ක්ද , වසන්ත සෘතුවේදී දින 80ක් හෝ  90ක් පමණද ජිවත් විමේ හැකියාව මෙම දළඹුවාට තිබෙන අතර , ආක්‍රමණශීලී ආගන්තුක සත්වයෙක් වශයෙන් මේවනවිට අම්පාර දිස්ත්‍රිකක්යේ උහන , දමන ආදී  ප්‍රදේශ රැසකට ව්‍යාප්තව ඇත.එමෙන්ම මෙම සතුන් රංචුවකට එක රැයක් තුළ අක්කර 1000ක වගාවක් වුවද විනාශ කිරීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    දැනට කරන ලද සමීක්ෂණ  අනුව මෙම දළඹුවා අනුරාධපුර , අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශවල දැනට වාර්තා වන අතර , තමන්ගේ වගාවන් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන ලෙසත් , මෙම දළඹු විශේෂය  තම වගාවන් අතර සිටී නම් වහාම  ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා දැනුම්වත් කරන ලෙසත් කෘෂිකර්ම  අමාත්‍යාංශය ඉල්ලා සිටී.

    මෙම දළඹුවන් මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව කෘමි නාශකවර්ග 11ක් නිර්දේශ කර තිබෙන අතර, ඒ පිළිබඳ තොරතුරු කෘෂිකර්ම උපදේශකවරුන් වෙතින් ලබා ගන්නා ලෙසත් , මෙම දළඹුවන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු ගොවි ජනතාවගේ සහයෝගය කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 15:53

    Latest News