රවිගේ දුව ඔනිලාට අධිකරණයෙන් නියෝගයක්

නොවැ 09, 2018

    රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා අධිකරණය හමුවේ පෙනී සිටිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග නිකුත් කෙරිණ.

    මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කියක් ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් පිළිබඳව රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිසිය දැනුම්දීමක් සිදුකර ඇත.

    ඇය ප්‍රකාශයක් ලබාදීමට රහස් පොලිසියට ගියත්, නීතිඥවරුන්ට රහස් පොලිස් කාර්යාලය තුළ යාමට අවසර නොදීම හේතුවෙන් ආපසු හැරී පැමිණි බව නීතිඥවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

    එවිට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එදින පෙරවරු 9.30 ප්‍රකාශය ලබා දීම සඳහා පැමිණෙන මෙන් ඔනිලා කරුණානායක නමැත්තියට දැනුම් දී තිබුනු බවයි. එහෙත් ඇය එදින පෙරවරු 9.08 පැමිණ ආපසු හැරී ගොස් තිබූ නිසා ප්‍රකාශය සටන් කර ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔනිලා කරුණානායකට සියලු ලේඛන සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින්නට නියෝගයක් නිකුත් කළේය.

    Latest News