නාගානන්දගෙන් පෙත්සමක්

අප්‍රේ 29, 2019

    බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත්වීම තුළින් රජය මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. 

    වසර තුනක තහනමකට ලක්ව සිටින නීතිඥවරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොලිස්පති පූජිත ජයසුන්දර, නීතිපතිවරයා සහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු දස දෙනෙකු නම්කර තිබේ.

    පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත්දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ විසින් කලින්ම රජයට තොරතුරු වාර්තා කර තිබූ බවයි. එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රජය දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවයි නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.

    රජයේ මෙම ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉල්ලා සිටියි.

    වග උත්තරකරුවන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි. එමෙන්ම මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස සැබෑ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 11:19

    Latest News