ඉදිරි පැය 24 ඇතුළත ආරක්ෂක ප්‍රධානීන් වෙනස් කරනවා

අප්‍රේ 24, 2019

    හෙට දවසේ මේ රටේ නිදහස් හා සාමකාමී පරිසරයක් ගොඩනැඟීම සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අංශ සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට ඉදිරි සතිය තුළ තමා බලාපොරොත්තු වන අතර ඒ අනුව විශේෂයෙන් ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    හදිසි නීති රෙගුලාසි ගැසට්කර තිබෙන්නේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට මිස කිසිසේත්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සීමාකරමින් කිසිවකුට බාධාවක් වන ආකාරයෙන් සහ නිදහස් ජීවිතවලට අභියෝගයක් වන ආකාරයෙන් නොවන බව පවසන මෛත්‍රීපාල සිරිසේන මහතා මිනිස් ජීවිතවලට අභියෝගයක් වන ආකාරයෙන් එම රෙගුලාසි, නීති-රීති පාවිච්චි නොවන බවට වූ වගකීම තමා පෞද්ගලිකව භාර ගන්නා බව ද රටේ නිදහසේ කතා කිරීම, පෙළපාළි යෑම, විරෝධතා ව්‍යාපාර, මාධ්‍ය නිදහස ආදි කරුණු සම්බන්ධයෙන් මේ රෙගුලාසි කිසිඳු ආකාරයකට කිසියම් කෙනකුට ගැටලුවක් අභියෝගයක් නොවන බව ද සඳහන් කරයි.

    රාජ්‍ය බුද්ධි අංශවල, පොලිස් හා ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල පූර්ණ ප්‍රතිසංවිධානයක් කරමින් ඒවා විධිමත් කරමින් මෙවැනි ත්‍රස්තවාදී සිදුවීම් නැවත ඇති නොවීමට දැඩි ලෙස විධිමත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද හෙතෙම කියා සිටී.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ(23) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයෙන් බියෙන් අවිශ්වාසයෙන් බැලීම සුදුසු නොවන බවත් මුස්ලිම් සෑම පුරවැසියෙක් ම ත්‍රස්තවාදියකු නොවන බවට විශේෂයෙන් සිහියේ තබා ගතයුතු බවත්ය. ඉතාමත්ම සුළු පිරිසක් පමණක් මෙවැනි ම්ලේච්ඡ ත්‍රස්ත ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටින බව ද ඒ නිසා රටතුළ සිංහල, මුස්ලිම්, දෙමළ සියලු ජනකොටස් අතර සමඟිය සංහිඳියාව ඇතිකර ගැනීම ඉතාමත් වැදගත් වන අතර සෑම කෙනෙක් තුළම විශ්වාසය ඇති කරගෙන ජීවත් වීම අවශ්‍ය වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    රටතුළ තිබූ ඉතාමත්ම සාමකාමී වාතාවරණය බිඳ හෙළමින්, ජනතාව තුළ බිය සැකය සන්ත්‍රාසය ඇති කරමින් ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් අපේ දේශීය ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් සමඟ කර ඇති ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ලැබූ අත්දැකීම නැවත නොලැබීමට සෑම කෙනෙක්ම වගබලා ගතයුතු බව සිහිපත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින්, එකිනෙකාට චෝදනා කරමින් කටයුතු කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු බවට තම විශ්වාසය යැයිද කීවේය.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලුම දේශපාලන පක්ෂ නායකයන් වට මේසයකට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටත් රජය ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග ඔවුන්ට ඉදිරිපත් කිරීමටත් තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 09:57

    Latest News