දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ජාතික උපදේශක කමිටුවක් පිහිටුවනවා

අගෝ 24, 2023

    දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කරගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) පැවති සාකච්ඡාවට එක් වෙමින්.

    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගි වී සිටි මේ සාකච්ඡාවේදී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන දේශීය මෙන්ම ගෝලීය අභියෝගවලට මුහුණ දීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් ඒ අභියෝගය ජය ගැනීමේදී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතාවක වැදගත්කමද පෙන්වා දුන්නේය.

    සෑම කටයුත්තකදීම වැදගත්ම සාධකය වන්නේ මූල්‍ය ක්ෂේත්‍රය බවත්, දේශගුණික අභියෝගවලට මුහුණ දිය හැකි අන්දමින් ශක්තිමත් ආර්ථිකයක් රටේ ගොඩනඟාගැනීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

    එසේම දේශගුණික අභියෝග ජය ගැනීමේදී ජාත්‍යන්තර සම්මුතීන්ට සහ න්‍යාය පත්‍රවලට අනුගතව කටයුතු කිරීමේ අවශතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එය දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ කැප වීමේ සංකේතයක් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු පිළිබඳ කේම්බ්‍රිජ් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර තිබෙන බවයි.

    එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස සමුළුවට (COP28) ඉදිරිපත් කිරීමට යෝජිත කරුණු ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    පරිසර ඇමැති නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, පරිසරය, දේශගුණය සහ හරිත මූල්‍ය පිළිබඳ ජනාධිපති උපදේශක ආනන්ද මල්ලවතන්ත්‍රි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ද මේ සාකච්ඡාවට එක්ව සිටියා. 

    Latest News