සිගිරියෙන් සල්ලි ගන්න දඹුල්ලෙන් මන්ත්‍රී යෝජනාවක්

නොවැ 02, 2018

    ලෝක උරුම සීගිරිය නැරඹන්නන්ගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල අය කරන මුදලින් 1% ක් දඹුල්ල ප්‍රාදේශීය සභාවට ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කිරිමට දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ යෝජනාවට සම්මත වි තිබේ.

    එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද මෙම යොජනාවට සහය පල කර ඇත. දඹුල්ල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. එහි වර්තමාන සභාපතිත්වය උසුලනු ලබන්නේ කේ.ජී. සෝමතිලක මහතා යි. ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීම අද පෙරවරුවේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    එහිදී දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. ජී. සෝමතිලක මහතා ආදායම් උත්පාදන වැඩපිළිවෙළ යටතේ යෝජනා කර සිටියේ වසර ගණනාවක සිට සෑම රජය කටම යෝජනා කළ ද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව සභාපති කේ.ජී. සෝමතිලක මහතා කියා සිටියේය. එ අනුව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල අයකරන අති විශාල මුදලින් 1% ක මුදලක් ප්‍රාදේශීය සභාවට ලබා දීමට නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කරන බව යි.

    සභාපතිවරයා විසින් ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක වරයා වූ සමන් මොරේමඩ මහතා ස්ථීර කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තුසිත් චන්ද්‍ර කුරුකුලසූරිය හා එන් .කේ . කරුණාරත්න මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා ද ස්ථිර කළහ.

    මධ්‍යම සංස්කෘතික අරමුදල එක් විදේශිකයෙකුගෙන් සීගිරිය නැරඹීම සඳහා රුපියල් 5000 කට අධික මුදලක් ලබා ගන්නා බවත් එයින් කිසිදු සතයක් හෝ ප්‍රදේශයේ සංවර්ධනයට ලබා නොදෙන බවත් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග සියල්ල පාවිච්චි කරන බවද විපක්ෂනායක සමන් මොරේමඩ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම කුණු කසළ ඉවත් කිරීම ප්‍රදේශයේ සුද්ද පවිත්‍ර කිරීම් ආදී සියල්ල ප්‍රාදේශීය සභාවෙන් සිදු කරන බව විපක්ෂනායක වරයා සඳහන් කළේය.

     

    Latest News