සීගිරියට පායන ඉර ලස්සනයිද බලන්න

සැප් 01, 2023

    හිරු පායා එන අවස්ථාව නැරඹීම සඳහා ඓතිහාසික සීගිරි පර්වතය මතට මේ දිනවල පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබෙන බව, මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

    විදේශිකයින්ට අමතරව දේශීය සංචාරකයින් ද අලුයම 5.00 සිට සීගිරි පර්වතය මතට නැගීමට පැමිණෙන බවයි, එම අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ.

    සීගිරිය තරණය කිරීමට දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙන්නේ විදුලි පන්දම් ද සමගයි. හිරු පායා එන අවස්ථාව නැරඹුම් ස්ථානයක් ලෙස සීගිරිය ප්‍රචලිත වීම ආරම්භ වූයේ මෑතක සිටයි. සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්වරුන්ගේ තීරණයකට අනුව ඉකුත් ජනවාරි මාසයේදී මෙම හිරු නැග ඒමේ දසුන සංචාරකයින්ට දැක බලා ගැනීමේ අවස්ථාව උදා කර දුන්නා. මේ දක්වා දසදහසක් පමණ අලුයම් කාලයේ සීගිරි පර්වතය තරණයට පැමිණ තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු ගාමිණී කරුණාරත්න මහතා පවසන්නේ, හිරු නැග ඒම නරඹන සංචාරකයින් එම දසුනේ මතක සටහන් ලබා ගැනීමෙන් පසු ‍කඩිනමින් සීගිරියෙන් බැස යන බවයි. දෛනිකව සංචාරකයින් 250 ත් 300 ත් අතර සංඛ්‍යාවක් ඒ වෙනුවෙන් සීගිරියට පැමිණෙනවා. නිලධාරීන් සඳහන් කළේ, බොහෝ විට සති හා නිවාඩු දිනවල එම සංඛ්‍යාව ඉහළ යන බවයි.

    Latest News