2019 පළමු පාසල් නිවාඩුව අප්‍රේල් 05

අප්‍රේ 02, 2019

    2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 05 වන සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වේ.

    මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා අවසන් වන අතර, දෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ අප්‍රේල් මස 17වන බදාදාය.

    මේ අතර ඩෙංගු මදුරුවන් ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වා ගෙන යාම සඳහා නව පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දීප ව්‍යාප්තව පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    ඒ අනුව 2019 පළමු පාසල් වාරය අවසන් වීමට පෙර හා දෙවන පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් දිවයිනේ සියලු පාසල් හා අධ්‍යාපන ආයතන තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 2019.04.05 දින පළමු පාසල් වාරය අවසන් වීමට පෙර හා දෙවන පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම ඩෙංගු මදුරු කීටයන් හා මදුරුවන්ගෙන් තොර පාසල් පරිශ්‍රයක් ගොඩනඟා ගැනීම සඳහා පාසල් සිසුන්ගේ, දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් හා ආදි ශිෂ්‍ය සංගම්ව, නියෝජිතයන්, පාසල් සංවර්ධන සමිති සාමාජිකයින්ගේ සහයෝගය ලබා ගනිමින් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇත.

    Latest News