දිමුත්ගෙන් අලුත් ත්‍රීරෝද රථයක්

අප්‍රේ 01, 2019

    බොරැල්ල කින්සි පාරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

    එමෙන්ම සැකකාර කරුණාරත්න මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර සැකකරු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    මෙම රිය අනතුර සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුනේ ඊයේ (31) දිනයේදීයි. ඒ අනුව අද(01) ඔහු අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ.

    අදාළ රිය අනතුරු සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ ශ්වසන පරීක්ෂණයේ දී ඔහු බීමත්ව සිටි බවට තොරතුරු අනාවරණය වූ බවත් මෙම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියා අධිකරණයට දන්වා ඇත.

    කෙසේ වෙතත් මෙම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව පැමිණිලිකරු විසින් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවද බොරැල්ල පොලිසිය අධිකරණයට දන්වා තිබේ. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඉදිරියේ දී කරුණු වාර්තා කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් ඇත.

    අනතුරට පත් පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල සමථයට පත්කර ගැනීමට තම සේවාදායකයා කැමැත්ත පළ කරන බවයි.

    සැකකාර කරුණාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ම සැකකරු විසින් ගිලන් රථයකින් තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කර තිබේ. මෙම වරද සම්බන්ධයෙන් ඔහු පශ්චාත්තාප වන බවත් පැමිණිලිකරුගේ ත්‍රිරෝද රථයට යම් අලාභයක් සිදුවී තිබේ නම් ඒ වෙනුවට අලුතින් ත්‍රිරෝද රථයක් ලබාදීමට සැකකරු එකඟ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත. එසේම මෙම සිද්ධිය සමථයකට පත් කරගැනීමට සැකකරු අපේක්ෂා කරන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා තිබේ.

    අනතුරුව පැමිණිල්ල මැයි මස 02 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් බොරැල්ල පොලීසියට නියම කර ඇත.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 16:38

    Latest News