මතින් නිදහසට බක්මහ දිවුරුමක්

අප්‍රේ 01, 2019

    මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන, බක්මහ දිවුරුම, අප්‍රේල් 03වනදා සිදු කෙරේ.

    එහි ප‍්‍රධාන උත්සවය අප්‍රේල් 03 වනදා පෙ.ව 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට එක්කර ගැනීමට නියමිතයි. එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වනු ඇති.

    මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කෙරෙන අතර, ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලූදෙනා ද පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක් කර ගැනීමට නියමිතය.

    අප්‍රේල් 03 වනදා පෙ.ව 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයන් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කර ගැනීමට කටයුතු සලසා තිබේ. පෙ.ව 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබාදීම සිදු කෙරේ. දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමඟ එක්වීමට නියමිතය. ඒ අනුව පෙ.ව 8.34 සිට 8.36 දක්වා සිංහල බසින් ද, පෙ.ව 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද පාසල් සිසුන් වෙනුවෙන් බක්මහ දිවුරුම ඉදිරිපත් කරයි.

    මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට බේදයකින් තොරව සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවට ආරාධනා කෙරේ.

    Latest News