දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්‍ෂේප කරයි

සැප් 08, 2023

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කලා.

    කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා දැරූ පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබූ සරත් ඒකනායක මහතාට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ගොනුකළ පැමිණිල්ලට අදාළ මූලික නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම තීන්දුව ලබා දුන්නා.

    තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය යටතේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පක්ෂයේ සභාපතිවරයාට පුළුල් බලතල පැවරී ඇති බවයි. ඒ අනුව පැමිණිලිකරු විසින් සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අදාළව ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.

    කෙසේවතත් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා පත්කිරීම පක්ෂයේ විධායක සභාව හරහා සිදුවිය යුතු හෙයින් දැනට මහලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා පත් කර තිබෙන සරත් ඒකනායක මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. නඩුව ලබන 22 වනදා නැවත කැඳවීමට නියමිතයි.

    Latest News