‍කුකුළු මස් මිල ඉහළ යාම පාලනයට සහ බිත්තර හිඟය අවම කිරීමට යෝජනාවලියක්

ජූනි 09, 2023

    ‍කුකුළු මස් මිල ඉහළ යාම පාලනයට සහ බිත්තර හිඟය අවම කිරීමට යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාව සහිතව එම යෝජනාවලිය ඉදි‍රිපත් කිරීමට නියමිතයි. මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටින සියලු කර්මාන්තකරුවන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද උදේ පැවති සාකච්ඡාවක දී මේ අදහස් පළ කෙරුණා.

    රජය, දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරනවා. නමුත්, කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. බිත්තර හිඟයද මෙතෙක් විසඳී නැහැ. මේ නිසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම, රටේ ජනතාවගේ පෝෂණ තත්වයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවයි, කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර තිබෙනවා.

    කුකුළු නිෂ්පාදනකරුවන් පවසන්නේ, දැනට රුපියල් 1,300 ක පමණ මිලක් යටතේ පවතින කුකුළු මස්වල මිල රුපියල් 1,200 දක්වා මාස තුනක් තුළදී අඩු කළ හැකි බවයි. මෙම සාකච්ඡාවේ දී එළඹි තීරණ සම්බන්ධ තොරතුරු සහිත වාර්තාවක් ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එම සාකච්ඡාවේ දී කුකුළු මස් මිල ඉහළයාම සහ බිත්තර හිගය සම්බන්ධයෙන් රජය දැඩි තීන්දු තීරණ කිහිපයක් ගනු ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

    Latest News