රාවණා පරපුරේ දරු පැටවුන්ට අධ්‍යාපනය අකැපද

මාර් 23, 2019

    1955 වසරේ සිට පවත්වා ගෙන යනු ලබන මාතලේ දිස්ත්‍රික් විල්ගමුව අධ්‍යාපන කලාපයට අයත් ලග්ගල නාරංගමුව ප්‍රාථමික විදුහලේ අඩුපාඩු රැසක් පැවතීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.

    ඉතා දුෂ්කර ‍ප්‍රදේශයක පිහිටි නාරංගමුව ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියන් 34 දෙනෙකු අධ්‍යාපනය ලබති. ගැහැණු දරුවන් 14 ක් හා පිරිමි දරුවන් 20 ක් ඒ අතර සිටී. පාසලේ විදුහල්පතිවරයා ද සමඟ ගුරුවරු පස් දෙනක් මෙහි සේවය නිරත වේ.

    1955 වසරේ ඉදිකරන ලද පවතින එකම ගොඩනැගිල්ල එදා සිට මේ දක්වාම අධ්‍යාපනය ලබන ග්‍රාමීය දරුවන්ට සෙවන ලබාදෙන බව දෙමාපියෝ පවසති. අවස්ථා කිහිපයකදීම දෙමව්පියන්වි සින් මෙම ගොඩනැගිල්ල පිළිසකර කරමින් හුණු පින්තාරු කර එහි කැඩීබිඳී ගිය ස්ථාන නිතර නිතර අලුත්වැඩියා කරමින් සිටින බව පෙනෙන්ට තිබේ. පුස්තකාල ගොඩනැගිල්ලක් නොමැති නාරංගමුව ප්‍රාථමික විදුහලේ පුස්තකාලය පරණ අල්මාරියකි.

    අලුතෙන් ඉදි කෙරෙන කළුගග ජලාශය පෙනෙන මානේ පිහිටි මෙම පාසැලේ පන්ති කාමර පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් ඉඩ කඩ නොමැති වීම දරුවන්ට මහත් බාධාවකි. මේ අතර, ගුරු නේවාසිකාගාරය ද දැනටමත් කැඩී අබලන් තත්වයේ පසුවේ.

    මෙම නාරංගමුව ප්‍රාථමික විදුහල ලග්ගල පල්ලේගම ලකේගල නම් වූ ඓතිහාසික පර්වතය පාමුල පිහිටා තිබේ. රාවණා පරපුරේ සිට පැවත එන ගම්මානයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. හේන් ගොවිතැන් සිදු කරමින් ජීවත් වන නාරංගමුව ගොවි පවුල්වල දරුවන් මෙම පාසැලේ අධ්‍යාපනය ලබති.

    school 6 px 900 22 03 2019

    නගරයේ පාසල්වල මෙන් මෙම දෙමව්පියන්ට තම දැරුවන්ගේ නැණස පාදන පාසල නඩත්තු කර ගැනීම සඳහා මූල්‍ය පහසුකම් නොමැති වීම පාසල සංවර්ධනයට බාධාවක් වී තිබේ. සමහර දරුවන් පාසල සඳහා පැමිණෙන්නේ සපත්තු දෙක පවා නොමැතිවයි. කිලෝමීටර් දෙකහමාරක් හෝ තුනක් පයින්ම පාසලට පැමිණෙන දරුවන් ද වෙති.

    school 4 px 900 22 03 2019

    මෙම දරුවන්ගේ එකම ඉල්ලීම තමන්ට සුන්දර පාසලක සිහිනය සැබෑකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි. 1955 වසරේ සිට මේ දක්වා පාසලට පැමිණි දරුවන්ගේ එකම සිහිනය වූයේද මෙයයි. සිහිනය එකම තැන පවතී. නමුත් කාලය පමණක් ඉදිරියට ඇඳී යයි. ඒ අනාගත දරුවන්ට ඇවැසි අයිතිය ද උදුරා ගනිමින්. රට පාලනය කළ නොයෙකුත් අධ්‍යාපන බලධාරීන් හමුවී මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී දෙමව්පියන් දැනුවත් කළ ද ඉන් පළක් නොවීය.

    මේ වනවිට පාසලේ පවතින අඩුපාඩු පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමට පවා විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන් දැඩි බියක් දක්වන බව දකින්නට ලැබිණ. එපමණක් නොම දෙමව්පියන් ද ඒ තත්වයට අද වනවිට පත්ව සිටී. ඊට හේතු වී ඇත්තේ, සමාජය තුළින් මෙවැනි දුෂ්කර පාසලක් පිළිබඳව දැන ගැනීමට ලැබීමත් සමඟ බලධාරීන් ක්‍රියාත්මක වී අවම පහසුකම් සහිත පාසල නවීකරණය කිරීම වෙනුවට විද්‍යාලය වසා දැමීමට කටයුතු කරයි යන හැඟීම නිසායි. රටේ පවතින මෙවැනි පාසල් සංවර්ධය සඳහා රේඛීය අමාත්‍යංශයට හැකි වුව ද ඔවුන් ද සිදු කරන්නේ පළාත් සභා පාසලක් ලෙස සළකා සංවර්ධනය නොකර අත හැරීම බවට දෙමව්පියන්ගෙන් චෝදනාවක් පවතී. නමුත් පළාත් සභා වලින් මෙවැනි පාසල් දියුණු කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ද දියත් කර නොමැති බව ද පැවසේ.

    school 5 px 900 22 03 2019

    නාරංගමුව ප්‍රාථමික විදුහල සඳහා අක්කර 6 ක විශාල ඉඩමක් ද පවතී. මේ වනවිට මුළු ප්‍රදේශයම කැලෑවට ගොස් තිබේ.

    අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු නොවන්නේ නම්, මේ අහිංසක දරුවන්ගේ සිහිනය සැබෑ කිරීම සඳහා ඉදිරිපත් වීමට හැකි කවුරුන් හෝ සිටිය හැකියි. ඒ අසරණ තත්වයට පත්ව සිටින මේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්. මේ අහිංසකයින් ඉල්ලන්නේ කඩා වැටීමට ආසන්න අබලන් වූ ගොඩනැගිල්ල වෙනුවට ඉගෙනීමට සුදුසු තත්වයේ ගොඩනැගිල්ලක් හා අල්මාරිය වෙනුවට පාසල් පුස්තකාලයක් පමණි.

    school 3 px 900 22 03 2019

    - අධ්‍යාපන අමාත්‍යවරයාට අනුව, "ලඟම පාසල හොඳම පාසල" ලෙස සැළකේ. නමුත් "ලඟම පාසල අබලන් නම් - අවධානය යොමු නොවන්නේ නම් " ගැටළුව ඇත්තේ කොතැන ද?....... අධ්‍යාපන අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය වෙනුවෙන්.......

    ( වාර්තා කිරීම - දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 18:31

    Latest News