ගර්භනී කතුන් උණ ඇත් නම් රෝහල් ගත වන්න

මාර් 22, 2019

    ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

    මෙම දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළඳුනු ගර්භණී මවුවරු අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකුලතා වලට ලක්විය හැකිවේ. ගර්භණි මවුවරුන්ට සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණ සහිත රෝගීන් ආසන්නයට යාමෙන් සහ වැඩිපුර සෙනග ගැවසෙන ස්ථාන වල රැඳීමෙන් වළකින ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටි. එමෙන්ම නිවැරැදි ශ්වසන ස්වාස්ථතාවයන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා ඇත .

    උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප්‍රසව මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මවුවරුනට විශේෂිත ප්‍රතිකාර ලබා දිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එවැනි මවුවරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලුම වෛද්‍ය ආයතන වලට, රජයේ සහ පුද්ගලික වෛද්‍යවරුන්ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් මේ වනවිටත් නිකුත් කර ඇත.

    පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආවේක්ෂණ දත්ත වලට අනුව ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව නිසාවෙන් මෙම වසරේ මාතෘ මරණ 2 ක් වාර්තා වී ඇත. එ අතර 2018 වසරේ දී ගර්භණි කාන්තාවන් 11 ක් නියුමෝනියාව නිසා මිය ගියහ. 2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සාවෙන් ගර්භණී මවුවරු 41 කගේ ජිවිත අහිමි වුයේය.

     

     

     

     

     

     

    Latest News