2023 අයවැය අද පාර්ලිමේන්තුවට

නොවැ 14, 2022

    ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධන‍යක් වෙනුවෙන් සැලසුණු 2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ඒ අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරු 1.30ට අයවැය කතාව ආරම්භ කිරීමට නියමිතයි.

    අනතුරුව, අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි. එම විවාදය ලබන 22 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 5.00ට අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

    ඉන් අනතුරුව නොවැම්බර් මස 23 වැනිදා සිට අයවැය කාරක සභා අවස්ථාව හෙවත් තුන්වන වර කියවීම ආරම්භ වනවා.

    එම විවාදය දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    එළඹෙන වසර සදහා රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 7,885ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂව බිලියන 1,785ක වැඩිවීමක්. ඒ අනුව එහි වැඩිවීම ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ සියයට 29.2ක් ලෙසයි.

    මේ අතර ලබන වසර සදහා වන අයවැයේ පුනරාවර්ථන වියදම් ලෙස බිලියන 2,442ක් ඇස්තමේන්තු ගත කර ඇති අතර ප්‍රාග්ධන වියදම් සදහා රුපියල් බිලියන 1,225ක් ඇස්තමේන්තු ගත කර තිබෙනවා. ණය වාරික සහ පොලී සදහා රුපියල් බිලියන 4,218ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

    මෙරට අනෙකුත් අයවැයවල අංක 1ට සදහන්ව තිබූ ආරක්ෂක වියදම මෙවර අයවැයෙන් හතරවන ස්ථානයට පහළ බැස තිබෙනවා. මෙවර අයවැයෙන් වැඩිම වියදම ලෙස රුපියල් බිලියන 572ක මුදලක් වෙන් කර ඇත්තේ සමාජ ආරක්ෂණය සදහායි.

    අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 504ක්, සෞඛ්‍ය සදහා රුපියල් බිලියන 432ක් සහ ආරක්ෂක වියදම් සදහා රුපියල් බිලියන 410ක් මෙවර අයවැයෙන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

    Latest News