කන්දකාඩු රැඳවියන් 201ක් රිමාන්ඩ්

නොවැ 08, 2022

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දී ඇත.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලාකාරී තත්වයෙන් පසු පලා ගිය තවත් 29 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව, යුද හමුදාව පවසනවා. ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගැනුණු රැඳවියන් 201 ක් දෙනෙකු පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    දෙපිරිසක් අතර හට ගත් කලහකාරී තත්වයකින් පසු 300 කට ආසන්න පිරිසක් "කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්" ඉකුත් 6 වැනිදා පලා ගොස් තිබුණා.

    එලෙස පලා ගිය වැඩි දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, තවත් පිරිසක් පැමිණ බාර වූ බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා  සඳහන් කළේ. ගැටුමට මැදි වූ රැඳවියන්  284 දෙනෙකු බස් රථ මගින් ඊයේ වැලිකන්ද - සේනපුර පිහිටි පුනරුත්ථාපන කඳවුර වෙත තාවකාලිකව රැගෙන ගිය අතර, ඔවුන්  යළි කන්දකාඩු වෙත රැගෙන ආ බව, හමුදා  ප්‍රකාශකවරයා කියා සිටියා. පලා ගිය පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා යෙදවූ යුද හමුදා හා පොලිස් මාර්ග බාධක ‍තවදුරටත් ක්‍රියාත්මකයි.

     පොලිස් බාරයට ගැනුණු 201 දෙනා ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, අද උදෑසන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණා. පුනරුත්ථාපන කොමසාරිස් ‍ජනරාල්  විශ්‍රාමික මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ,  දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට අබ්බැහි  වූ මෙම පුද්ගලයන් පාලනය කිරීම ඉතා අසීරු  බවයි. එම රැඳවියන්ගේ ක්‍රියාකාරීත්වය වරින් වර ක්ෂණිකව වෙනස් වීම්වලට ලක් වන බව, ඔහු සඳහන් කළා.

    ඔවුන් අතරින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට අබ්බැහි වූ පුනරුත්ථාපනලාභීන්  පාලනය දැඩි අසීරු තත්වයක් පෙන්නුම් කරන බවයි, මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. අධිකරණ නියෝග පරිදි මෙම පුද්ගලයන් පුනරුත්ථාපනයට යොමු කර  සිටීම, බාහිර සමාජයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා ජාවාරම් සඳහා බරපතල පහරක් එල්ල කර තිබෙනවා. ඒ නිසා විවිධ ජාවාරම්කරුවන්  පුනරුත්ථාපන කඳවුර තුළ කලහකාරී තත්වයක් නිර්මාණය කිරීම සඳහා මැදිහත් වන්නේද යන්න සොයා බැලිය යුතු බවයි, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

    Last modified on අඟහරුවාදා, 08 නොවැම්බර් 2022 12:07

    Latest News