මිල්ලනිය සිසුන්ට පහරදීමේ සිද්ධියේ නිලධාරීන් අද උසාවියට

නොවැ 08, 2022

    ‍මිල්ලනිය - ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පිරිසකට ගුරුවරියකගේ මුදල් පසුම්බියේ තිබූ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සිද්ධියට අදාළ පිරිස් කැඳවා තිබෙනවා. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්, කොළඹ - අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    දරුවන් පිරිසක් විසින් පසුගියදා  ගුරුවරියකගේ ගමන් බෑගයේ තිබූ මුදල් සොරකම් කිරීමේ වරදක් සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසියේ නිලධාරීන් සිද්ධියට අදාළ දරුවන් කැඳවා එම දරුවන්ට පහර දීමක් සිදු කර, ජීප් රථයේ නංවාගෙන රැගෙන ගොස් බියගැන්වූ බවට, එම දරුවන්ගේ දෙමාපියන් චෝදනා කර තිබෙනවා.

    මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ, හොරණ - අධ්‍යාපන කලාපයට අයත් මිල්ලනිය - ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක්.  සිද්ධිය සම්බන්ධයෙන්  එම දරුවන්ගේ දෙමාපියන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියට පැමිණිල්ලක් ද කර ඇති අතර, අධිකාරිය මගින් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ද  අරඹා තිබෙනවා.     

    අද දින සිද්ධියට අදාළ ගුරුවරියන් දෙදෙනෙක්, පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජාතික ළමාරක්‍ෂක අධිකාරියට කැඳවා ඇති අතර, ඔවුන් සමග අදාල පොලිස් ජීප් රථයද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ - අලුත්කඩේ උසාවියට ඉදිරිපත්  කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, පාසල්වල දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති විනය ආරක්‍ෂා කිරීම පිළිබඳ චක්‍ර ලේඛයට පිටතින් ගොස් මිල්ලනිය ප්‍රදේශයේ දරුවන්ට පහර දී ඇති බවයි.

    Latest News