ප්‍රියමාලිගේ රත්තරන් විකුණු අධ්‍යක්ෂක රිමාන්ඩ්

ඔක් 29, 2022

    තිකෝ සමූහ ව්‍යාපාරයේ තිළිණි ප්‍රියමාලි කමල් හසන් යන පුද්ගලයාගෙන් ගත් රුපියල් කෝටියක් පමණ වටිනා රන් කිලෝ එක විකිණීමට ඍජුව දායක වූ බව කියන තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා ලබන නොවැම්බර් මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ 28 නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔහු සමඟ අධිකරණයට ඉදිරිපත් කළ එම රන් කිලෝ එක මිලට ගත් බව කියන ජාඇළ දුම්රිය පොළ පාරේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසල හිමිකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇප රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ඉදිරිපත් කරන ලෙසත් ඇපකරුවන් පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසත් ඇප කොන්දේසි ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    එමෙන්ම රන් කිලෝ එක මිලට ගත් ස්වර්ණාභරණ හිමිකරු සන්තකයේ තිබූ රන් පවුම් 40ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, විකුණූ බව කියන රන් පවුම් 20ට අදාළව රුපියල් ලක්ෂ 30ක මුදලක් සැකකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.

    රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තුන්වැනි සැකකරු තිකෝ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයකු බව සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

    Latest News