තිලිණි රෝහලේ නඩුවත් කල් යයි

ජූනි 05, 2023

    වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිලිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අගෝස්තු මස 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී විත්තිකාර තිලිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී සිටියේ නෑ.

    ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සදහන් කළේ තම සේවාදායිකාව අසනීපව කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

    ඒ අනුව නඩුව අගෝස්තු මස 11 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළා.

    2010 වසරේ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට වාහනයක් ලබා දෙන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

    Latest News