යාල සිද්ධියේ වැරදිකරුවන්ට දුන් දඩුවම

ඔක් 25, 2022

    යාල වනෝද්‍යානය තුළ දී හිංසාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට සහ එම වාහනවලට වසර 3 ක් යන තුරු ශ්‍රී ලංකාව තුළ කිසිදු  වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාද්‍ය ලේඛන ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝගයකට අනුවයි. ඒ අනුව, වනජීවි සහ වනසම්පත් සංරක්‍ෂණ අමාත්‍යාංශ‍යේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී අදාළ තීරණයට එළඹ තිබෙනවා.

    යාල වනෝද්‍යානයේ සතුන්ට  හිරිහැර වන පරිදි හැසිරුණු පුද්ගලයින්ට එ‍රෙහිව, පියවර නොගැනීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරීයේ  නිරතව සිටි නිලධාරීන්ගේ සහ සංචාරක මඟපෙන්වන්ගේ සේවය අත්හිටුවීමටයි, පියවර ගෙන ඇත්තේ. ‍

    සංවේදී පරිසර කලාපයක මෙලෙස වනසතුන්ට හිංසා වන පරිදි වාහන ධාවනය කිරීම, වනජීවි හා වෘක්‍ෂලතා ආඥාපනත ය‍ටතේ විෂමාචාරයක් බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා   පෙන්වා දෙනවා. එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්, එය වැළැක්වීමට කටයුතු නොකිරීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.

    මෙම පිරිස සමග වනෝද්‍යානයට සහය වීම කටයුතු කළ නිලධාරී පිරිස එම කටයුතු  වළක්වා ගැනීමට උත්සහ නොකිරීම ඉහළ ‍නිලධාරීන් දැනුවත් නොකිරීම යන කරුණු මත විමර්ශන කටයුතු අවසන් වන තෙක් මෙලෙස ඔවුන්  වැඩ තහනමකට ලක් කෙ‍රුණා.

    තරාතිරම නොබලා මෙම පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බවයි, අමාත්‍යවරයා  සඳහන් කරන්නේ. මෙවැනි සිද්ධි නැවත සිදුවීම වලක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙසද, අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට දන්වා තිබෙනවා.

    Latest News