යාල සිද්ධියට වගකිවයුතු 9ක් භාරවෙයි

ඔක් 26, 2022

    යාල ජාතික උද්‍යානය නැරඹීමට ඇතුළු වූ පිරිසක් උද්‍යාන නීති උල්ලංඝනය කරමින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාහන 7 ක් සමග පුද්ගලයින් 9 දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර වී තිබෙනවා.

    ඔවුන්, තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ජීප් රථ 30 කට වැඩි සංඛ්‍යාවකින් ඉකුත් සෙනසුරාදා මෙලෙස යාල ජාතික උද්‍යානයට ඇතුළු වී තිබූ කණ්ඩායම සියයකට ආසන්නයි. ඔවුන් උද්‍යාන නීති උල්ලංඝනය කරමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට යොමු වීමත් සමග පරිසරවේදීන්ගේ හා වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය ඊට යොමු වුණා.

    ඒ සම්බන්ධයෙන් නිවැරදි අයුරින් නෛතික පියවර ගෙන නොමැති බවට පරිසරවේදීන් චෝදනා එල්ල කිරීමත් සමග එම ජීප් රථ සමූහය බාරව ගිය වනජීවී නියාමකවරයෙකු සහ ස්වෙච්ඡා මග පෙන්වන්නන් කිහිපදෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බවයි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේ.

    ඊට අමතරව, නීති උල්ලංඝනය කරමින්  උද්‍යානය තුළ ධාවනය කෙරුණු වාහන කිහිපයකට වසර තුනක් යන තුරු යළි වනෝද්‍යාන වෙත ඇතුළු වීම තහනම් කළ බවද, දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළා.

    මේ අතර, දැනට විනය ක්‍රියාමාර්ග ගෙන ඇති නිලධාරීන් 7 දෙනාට අමතරව, ඊට සම්බන්ධව තවත් නිලධාරීන්ගේ නම් හෙළිදරව් වුවහොත්, ඔවුන්ට එරෙහිව ද විනයානුකූල පියවර ගන්නා බවයි, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

    සිද්ධියට අදාළව යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව සේවය කළ නිලධාරීන් රාජකාරී පැහැර හැරීම හා ඉහළ නිලධාරීන් දැනුවත් නොකිරීමට අදාළ විමර්ශන සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබෙනවා.

    උද්‍යානය තුළ අනිසි ලෙස හැසිරුණු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු නෛතික පියවර සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා දෙන ලෙස ඉල්ලා අද දින පොලිස්පතිවරයාට ලිපියක් යොමු කිරීමට ද නියමිතයි.

    Latest News