යාලේ යකා නැටූ ජීප්වලට නඩු (වීඩියෝ)

ඔක් 25, 2022
  • වාහනවලින් ගොස් පසුගියදා යාල වනෝද්‍යානයේ, සතුන්ට හිරිහැර වන පරිදි හැසිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම නෛතික පියවර ගන්නා ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ  අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.  

    එමෙන්ම, විමර්ශනය අවසන් වන තෙක් මෙම පිරිස සමග ගිය මඟපෙන්නන්නන් සහ නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට ද, පියවර ගෙන තිබෙනවා.

    සංවේදී පරිසර කලාපයක මෙලෙස වන සතුන් හිංසා වන අයුරින් වාහන ධාවනය කිරීම, වනජීවි හා වෘක්‍ෂලතා ආඥාපනත ය‍ටතේ විෂමාචාරයක්  බව, අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්, එය වැලැක්වීමට කටයුතු නොකිරීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.

    තරාතිරම නොබලා මෙම පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බවයි, අමාත්‍යවරයා  සඳහන් කරන්නේ. මෙවැනි සිද්ධි නැවත සිදුවීම  වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙසද, අමාත්‍යවරයා ඊයේ අදාළ බලධාරීන්ට දන්වා තිබෙනවා.

    මෙවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන් සහ රථ වාහන නැවත වනෝද්‍යානවලට ඇතුල්වීම වැළැක්වීම සඳහා කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම වැනි වැඩපිළි‍වෙළක් සඳහා අවශ්‍ය නීතිමය සංශෝධනය සිදු කිරීමට ද නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022 15:17

    Latest News