සනත් නිශාන්තට වරෙන්තු

ඔක් 13, 2022

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළා.

    සනත් නිශාන්ත මහතා ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සිතාසි නිකුත් කර තිබුණා.

    එහෙත් මෙම නඩුව අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අධිකරණයේ පෙනී සිටියේ නෑ.

    එම අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් වගඋත්තරකරු අත්අඩංගුට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

    තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියා.

    වග උත්තරකරුට අද දින අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කළ අධිකරණ නියෝගය ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය කර තිබිය දී ඔහු අධිකරණය හමුවට නොපැමිණීම බරපතළ තත්ත්වයක් බවත් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙන්වා දුන්නා.

    තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ විජිත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද වරෙන්තුවක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියා.

    එම අවස්ථාවේදී සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට නිසි පරිදි සිතාසි ලැබී නොමැති බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල වග උත්තරකාර සනත් නිශාන්ත මහතා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා පොලිස්පතිවරයා විසින් වෙත වරෙන්තුවක් නිකුත් කළා.

    අනතුරුව පෙත්සම් නොවැම්බර් මස 10 වනදා කැදවීමට ද අධිකරණය නියම කළා

    කෙසේ වෙතත් නඩු විභාගය අවසන් වීමෙන් පසු සනත් නිශාන්ත මහතා අධිකරණ පරිශ්‍රයට පැමිණියා.

    මෙම නඩුව යළි මෝසමක් මාර්ගයෙන් කැඳවීමට අපේක්ෂා කරන බවත් සනත් නිශාන්ත මහතාගේ නීතිඥවරුන් සඳහන් කළා.

    ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනු කර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම් කර ඇති බවයි.

    එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හළ බවත් පෙත්සම්වල සඳහන් වෙනවා.

    එසේ තිබිය දී අගෝස්තු මස 23 වන දා පොදුජන එක්සත් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත අරගල කරුවන්ට මහේස්ත්‍රාත්වරු ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයි ද පෙත්සම් වලින් චෝදනා කර තිබේ.

    එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර සනත් නිශාන්ත අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කොට නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කොට ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය හරහා මහජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳ හෙලීමට ක්‍රියා කර ඇති බවත් සඳහන් කර සිටියහ.

    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.

    Latest News