මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම පිළිබඳ නියෝගය ලබන 14 වැනිදා

ඔක් 12, 2022

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලේ විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 14 වනදා පෙරවරු 9.30 ට ප්‍රකාශයට කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    එදින පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් අභියාචනාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

    මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

    ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය සහ ඔහුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ල මත සිදුවන විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දු ලබන 14 වනදා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

    සිරිල් ගාමිණි පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙක් වූ බවට පත්වූ පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ මස 14 වනදා අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

    මෛත්‍රිපාල සිරිසේන මහතා අභියාචනාධිකරණය හමුවේ ගොණු කර තිබෙන රිට් පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ප්‍රවාදක සාක්ෂි සා නීති විරෝධී කරුණු පදනම් කර ගනිමින් අදාළ පුද්ගලික පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

    එම ප්‍රවාදක සාක්ෂි පදනම් කරගෙන තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන සිතාසිය ද නීතියට පටහැණි බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

    ඒ අනුව තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News