පාස්කු ප්‍රහාරයට චෝදනා ලබා සිටි මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු සැකකරුවන්ට ඇප

මැයි 25, 2022

    පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගෙ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ තවත් විත්තිකරුවකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලිසියට වසන් කළේ යැයි චෝදනා එල්ල වී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

    කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

    ඇප මත මුදා හරින ලෙස නියෝග කෙරුණු අනිත් විත්තිකරු මොහොමඩ් හිජාස් නැමැත්තෙකි.

    ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

    විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් සෑම මසකම පළමු වන අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කළ යුතු බවටත් විත්තිකරුවන්ට නියෝග කෙරුණා.

    විත්තිකරුවන් වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු සුවිශේෂී කරුණු සැලකිල්ලට ගෙන විනිසුරුවරයා විසින් ඇප මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

    ඇප ලැබූ මොහොමඩ් ඊබ්‍රහිම් නමැත්තා පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැංග්‍රිලා හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා බව ද නඩු විභාගයේ දී කරුණු හෙළි වුණා.

    Latest News