'කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා' වැඩපිළිවෙළට අයදුම්පත් ලක්ෂ 23 ක්

ඔක් 12, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කෙරුණු අඩු ආදායම් ලාභී පවුල්වලට සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද වන විට අයදුම්පත් ලක්ෂ 23 ක් ලැබී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

    'කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා' යන තේමාවෙන් වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

    මේ වන විට අයදුම්පත් හයලක්ෂ විසිහතරදහස් 714 ක් පද්ධතියට ඇතුළත් කර තිබෙනවා. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් 341 ක ස්ථාපනය කර ඇති සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකක මගින් මෙම අයදුම්පත් පද්ධතියට ඇතුළත් කිරීම කඩිනමින් සිදු කෙරෙනවා. මෙහි නියමු ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා පැවති අතර, ජනතාව ඉතා උද්‍යෝගයෙන් ඊට සහභාගි වුණා. මේ වන විට සුබසාධක ප්‍රතිලාභ ලබන හෝ පොරොත්තු ලේඛණයේ සිටින පවුල් ලක්ෂ 33 ට අමතරව, කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් මෙරට මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ අලුතින් අඩු ආදායම් ලාභී තත්වයට පත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තා කර ඇති, පවුල් ලක්ෂ 6 ක්ද මේ සඳහා අයදුම් කෙරෙනු ඇති.

    මෙම සමාජ සුබසාධන වැඩසටහනට පවුල් ලක්ෂ 39 ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අදියර 6 ක් යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ පළමු පියවර අතරතුර දෙවැනි පියවරද ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක්රැස් කිරීම මීලඟ පියවර බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. සමෘද්ධි ලාභීන්, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් ලෙස මේ වන විටත් සුබසාධක ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම, අලුතින් ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන් ඒ සඳහා ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි වීමේ අයදුම්පත් ආකෘති 2022 අගෝස්තු 30 වැනි දින ප්‍රසිද්ධ කෙරුණු අතර, 2022 සැප්තැම්බර් 29 වැනිදා වන විට දත්ත පද්ධතියට ඇතුළත් කර තිබූ අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි. එහෙත්, පසුගියදා ජනාධිපති මාධ්‍ය ඒකකය සියලුම මාධ්‍ය ආයතනවලින් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ලක්ෂ 23 ක අයදුම්පත් ලැබී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. අයදුම්පත් යොමු කළයුතු අවසන් දිනය ලබන 15 වැනිදායි. සුදුසුකම් සැපිරූ අයදුම්කරුවන්ගේ නාමලේඛණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිකුත් කිරීමට නියමිතයි.

    Latest News