නීති විරෝධීව අපනයනයට සැකසූ යකඩ කන්ටේනර් 4ක් අත්අඩංගුවට

ඔක් 11, 2022

    නීති විරෝධී ලෙස අපනයනයට සූදානම් කර තිබූ පිත්තල, තඹ සහ සුදු යකඩ අඩංගු කන්ටේනර් 4 ක් සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් රථ 2 ක් ඊයේ ශ්‍රී ලංකා රේගුව භාරයට ගැනුණා. 

    ලද තොරතුරක් අනුව,  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ රේගු නිලධාරීන් එම කන්ටේනර් පරීක්ෂාවට ලක් කළා. කඩදාසි ලෙස අපනයනයට සූදානම් කර තිබූ එම භාණ්ඩ තොගය රැගත් කන්ටේනර් 5 ක් අමාත්‍යවරයා ඉදිරියේ විවෘත කෙරුණා. 

    කඩදාසි දැක ගත හැකි වූයේ, එක් කන්ටේනරයක පමණයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ, මෙම අර්බුදකාරී අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ දක්ෂතාව මත කළ මෙම සොයා ගැනීම්වල වටිනාකම මිල කළ නොහැකි බවයි.

    දේශීය කර්මාන්තකරුවාට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වන පිත්තල, තඹ සහ සුදු යකඩ මෙලෙස නීති විරෝධී ලෙස අපනයනය අපරාධයක් බවද අමාත්‍යවරයා කියා සිටියා.

    එමෙන්ම, නීති විරෝධී ලෙස ආනයනය කෙරුණු හමර් රථවල වටිනාකම ජනතාව වෙත ලබාදීම සඳහා කටයුතු කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. රේගු අධ්‍යක්ෂ ජනරාල් පී බී එස් සී නෝනිස් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.        

    Last modified on අඟහරුවාදා, 11 ඔක්තෝබර් 2022 12:10

    Latest News