සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 13 වැනිදා කැඳවීමට නියෝග

සැප් 08, 2022

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ලබන 13 වනදා කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට නොතීසි නිකුත් කළා.

     එම පෙත්සම් අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
     එහිදී  පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි  උපුල් ජයසූරිය සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු කළ කරුණු දැක්වීම් පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස නියෝග කළා.
     ඉන් අනතුරුව වග උත්තරකාර සනත් නිශාන්ත මහතාට එදින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කරනු ලැබුවා.
    නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
    පෙත්සම්කරුවන් කියා සිටින්නේ  ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනු කර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම් කර ඇති බවයි.
    එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
    එසේ තිබිය දී ඉකුත් 23 වන දා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අරගල කරුවන්ට මහේස්ත්‍රාත්වරු ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයි ද පෙත්සම් වලින් චෝදනා කර තිබෙනවා.
    එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කොට නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කොට ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය හරහා මහජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳ හෙලීමට ක්‍රියා කර ඇති බවත් සඳහන් කර සිටියා.
    ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද පෙත්සම්කරුවන් චෝදනා කළා.
    ඒ අනුව වගඋත්තරකාර සනත්  නිශාන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නගත ප්‍රකාශය සිරස රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වූ අතර එම නාළිකාවෙන් අදාළ ප්‍රකාශය අඩංගු මුල් වීඩියෝ පටය කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙසත් පෙත්සමෙන්  ඉල්ලා තිබෙනවා.
    අමතරව වගඋත්තරකාර  සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ගොනු කර ඔහුගෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා අදාළ චෝදනාවලට දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අධිකරනයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News