ගල් අඟුරු ටෙන්ඩරයට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

සැප් 07, 2022

    ලක් විජය බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ පිහිටි බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්" සමාගම වෙත පිරිනැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත කල් ලබා දුන්නා.

    මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

    එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ඉල්ලා සිටියා.

    ඒ අනුව එම විරෝධතා සති දෙකකදී ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම ඔක්තෝබර් මස 25 වැනිදා සලකා බැලීමට දින නියම කළා.

    මෙම පෙත්සම් වග උත්තරකරුවන් ලෙස ලංකා ගල් අගුරු සමාගම, අමාත්‍ය මණ්ඩලය, විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් සහ තාක්‍ෂණ ඇගයුම් කමිටුවේ සාමාජිකයන් මෙන්ම" ඩුබායි බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්" සමාගම ඇතුළු 49 දෙනෙකු නම් කර තිබෙනවා.

    ලක් විජය බලාගාරයට ගල් අඟුරු මෙට්‍රික්‌ ටොන් මිලියන 4.5 ක් සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා එය ඩුබායි රාජ්‍යයේ බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස් සමාගම වෙත පිරිනැමීමට ලංකා ගල් අගුරු සමාගම තීරණය කර තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කාර සෝභිත හිමියන් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ට පටහැනි ව කටයුතු කරමින්, ටෙන්ඩර් පටිපාටියේ වගන්ති වෙනස් කරමින් අදාළ සමාගමට මෙම ටෙන්ඩරය පිරිනමා තිබෙන බවත් පෙන්වා දෙනවා.

    ලියාපදිංචි ගල් අඟුරු සැපයුම්කරුවකු නොවන අදාළ සමාගම වෙත මෙම ටෙන්ඩරය පිරිනැමීම හේතුවෙන් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 500 කට අධික පාඩුවක් සිදු වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

    එබැවින් මෙම ගල් අඟුරු ටෙන්ඩරය පිරිනැමීමට අදාළ ක්‍රියාවලිය සහ ඊට අදාළ නිර්දේශ අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කරන මෙන් පෙත්සම්කාර සෝභිත හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙම ටෙන්ඩර් දැමීමේ ක්‍රියාවලිය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News